https://translationbooksinsinhala.blogspot.com/

Sunday, August 19, 2018

හඳුනානොගත් මළසිරුර (1 පරිච්ඡේදය) - Whose Body? By, Sayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර 


1 පරිච්ඡේදය

"මකබෑවියන්" පිකඩලි වටරවුමට ළඟා වන විට පීටර් විම්සෙ සාමිවරයාගේ මුවින් පිටවිය.

"ඩයිවර් උන්නැහේ" සාමිවරයා ටැක්සි රියදුරා අැමතීය.

කාර්යබහුල වීථියේ රථ වාහන තදබදයට හසු වී පහළ රීජන්ට් වීථිය වෙත වාහනය හැරවීමට නොඉවසිල්ලෙන් බලා සිටි ටැක්සි රියදුරාගේ කෝපය අැවිස්සීමට මෙම වදන් ප්‍රමාණවත් විය. 

එය ගණන් නොගත් සාමිවරයා " මං හදිස්සියට වැදගත් ලියවිලි වගයක් දාලා අැවිත්. පුළුවන්ද අාපහු අපි අාව තැනටම මාව අරන් යන්න"

"සැවිල් ක්ලබ් එකටද සර්" රියදුරා විමසීය.

"නැහැ ඊට ටිකක් එහා. නො. 110, පිකඩලිය. ලොකු උදව්වක්"

සාමිවරයා පත්ව සිටි අපහසුතාවය දුටු රියදුරා "මම හිතන්නෙ ඔබතුමා ලොකු හදිස්සියක වගෙ ඉන්නෙ" යැයි විමසීය.
එම ප්‍රශ්නය මඟහැරි සාමිවරයා "මං හිතන්නෙ මෙතනින් වාහනය හරවා ගන්න අමාරු වෙයි වගෙ" යැයි පැවසීය. 
උසස් පෙළපතකින් පැවත එන සාමිවරයාගේ දිගු මුහුණින් කරුණාවන්ත බවක් පෙණිනි. එය කර්කශ පොලිස් නිලධාරියෙකුගේ තියුණු බැල්ම යටතේ ශබ්ද නගමින් හෙමින් අැදෙන වාහන අතර සිරවූ රියදුරාගේ කෝපය මඳක් සංසිඳවීමට සමත් විය.

ග්රීන් උද්‍යානයට මුහුණලා විරුද්ධ පැත්තේ පිහිටි අංග සම්පූර්ණ වූද සුඛෝපභෝගී වූද මහල් සංකීර්ණයෙහි දෙවන මහලේ පීටර් සාමිවරයා පදිංචි වී සිටියේය. නමුත් කාලයක සිට ඔහුගේ ව්‍යාපාර බංකොළොත් වෙමින් පැවතුණි.

කල්පනාබරව අැවිද යන ඔහුට පුස්තකාලය දෙසින් යමෙකුගේ දුරකථන සංවාදයක් සවනත වැකුණි. 

"මං හිතනවා එතුමා ඉක්මනින්ම මෙහි පැමිණේවි. ඔබතුමිටය ටික වේලාවක් රැඳී ඉන්න පුළුවන්නම් ...."

"එ් බස්ටර්ද?" සාමිවරයා විමසීය.

"එ් අපගේ කරුණාවන්ත මැතිනියයි ස්වාමීනී. මේ දැන් ඩෙවොන් සිට දුරකතනයේ රැඳී සිටිනවා. ඔබතුමාගේ බලතල අහෝසි වීම ගැන මට දැනගන්න ලැබුණු තොරතුරු එතුමියට පවසමිනුයි මං සිටියේ."

"ස්තූතියි" පීටර් සාමිවරයා පැවසීය. "ම් ...... මගේ ලැයිස්තුවක් තිබිලා ඔබට හම්බුණාද? මං හිතන්නෙ මම එ්ක මගෙ නිදන කාමරයෙ හරි මේසෙ උඩ හරි දාලා ගිහින්. පොඩ්ඩක් එ්ක හොයලා බලන්න"

අනතුරුව ඔහු දැඩි සංයමයකින් යුතුව දුරකතනය අසලින් හිඳ ගත්තේය.

"කොහොමද අම්මා ... මේ ඔයාද?"

"ඕහ් ... මේ ඔයාද දරුවො" වැන්දඹු අාදිපාදවරියගේ මුවින් පිටවිය. 

"ඔයා නෑ කිව්වහම මම ටිකක් කලබල වුණා. පුතාව නිතරම මට මතක් වෙනවා"

"නෑ අම්මා මං බ්රොන්ලෙබරි ගෙ කඩේට ගියා පොතක් දෙකක් ගන්න කියලා. එ්ත් ගමන නතර කරලා අාපහු මට එන්න වුණා. මේ මගෙ ලැයිස්තුවක් දාලා ගිහින් .... එ්කයි. ඉතින් කොහොමද අම්මගෙ සැප සනීප?"

"ඕහ් ... මං මේක කොහොම කියන්නද? .... හරිම භයානකයි .... මං හිතුවා පුතාටවත් මේ ගැන කියන්න ඕනෙ කියලා. පුතා තිප්ස් මහත්තයා ගැන දන්නවද?"

"තිප්ස් ... තිප්ස්? ... අා ඔව් මට මතකයි. අර පල්ලියෙ වහලෙ හදමින් හිටිය මනුස්සයා නේද? අැයි මොකද එයාට?"

"ත්රොග්මෝටන් මහත්මිය මේ දැන් අාවා හොඳටම කලබලෙන්"

"සමාවෙන්න අම්මේ මට ඔයාව හරියට අැහෙන්නෑනෙ. මොන මහත්මිය කියලද කිව්වෙ?"

"ත්රොග්මෝටන් .... ත්රොග්මෝටන් ....  දේවගැතිතුමාගෙ බිරිඳ"

"ඕහ් ... ත්රොග්මෝටන්. ඔව් ඉතින්?"

"ඔයා දන්නවනෙ තිප්ස් ගෙ අද වැඩ අවසන් කරන දවස."

"ඔව් ඉතින්?"

"එ්ත් ඔහු අද දවසේ වැඩ වලට ගිහින් නැහැ. මොකද ඔහු ගොඩක් සිත්තැවුලටත් කලබලයටත් පත්වෙලා. පව් දුප්පත් මනුස්සයා. ඔහුගෙ නාන බේසමේ තිබිලා මළ සිරුරක් හමුවෙලා."

"සමාවෙන්න අම්මෙ ... මට ඔයාව හරියට අැහෙන්නෑ. මොකක් හමුවුණා කියලද කිව්වෙ? කොහෙදිද?"

"මළ සිරුරක් දරුවො. නාන බඳුනෙ තිබිලා."

"මොකක්? ... නෑ නෑ අපි තාම ඉවර නැහැ. කරුණාකරලා ලයින් එක කට් කරන්න එපා. හෙලෝ .... හෙලෝ .... මේ ඔයාද අම්මේ? හෙලෝ අම්මේ ... ඕහ් ..."

"ඔව් දරුවො"

"සමාවෙන්න අම්මේ මේ ගෑනු දරුවා ලයින් එක කට් කරන්න හැදුවෙ. මොන වගෙ සිරුරක් ගැනද අම්මා කියමින් හිටියෙ?"

"මැරුණු මනුස්සයෙක් දරුවො. අැඟේ මුකුත්ම තිබිලා නෑ. ත්රොග්මෝර්ටන් මහත්මිය මට එ් ගැන කියද්දිත් අැය ලැජ්ජාවෙන් රතු වුණා. මේ රටේ මිනිස්සුන්ට මොනවා වේගන එනවාද මන්දා"

"හ්ම් ... එ්ක ටිකක් අමුතුයි වගෙ තමයි. එ් තිප්ස් දන්න කවුරු හරිද?"

"නෑ දරුවො මං හිතන්නෙ එහෙම නෙමෙයි. ඔහු ඉන්න තත්ත්වෙ අනුව වැඩි විස්තරයක් අහගන්නත් බැරි වෙලා. අැයත් ටිකක් කලබලයට පත් වෙලා ඉන්නෙ. අැත්තටම ඔහු වගකීමෙන් වැඩ කරපු හොඳ මනුස්සයෙක් ... දැනටමත් පොලීසිය ඔහුගෙ නිවස මුර කරනවා. අැත්තටම මට හරිම කනගාටුයි ඔහු ගැන."

"අසරණ තිප්ස්. කොච්චර භයානක දෙයක්ද ඔහුට සිද්ධ වෙලා තියෙන්නෙ ... ම් ... ඔහු බැට්ටර්සී වල නේද ජීවත් වුණේ? එහෙම නේද?" 

"ඔව් දරුවො උද්‍යානයට මුහුණලා තියෙන අංක 59 ක්වීන් කැරොලයින් මන්දිරයෙ තමයි ඔහු හිටියෙ. එ්ක රෝහල කෙළවරේ තියෙන ලොකු ගොඩනැගිල්ලක්. මං හිතන්නෙ ඔයාට පුළුවන් වෙයි පොඩ්ඩක් එ් පැත්තෙ ගිහින් අපෙන් මොනාද කෙරෙන්න ඕන කියලා හොයලා බලන්න ... නිතරම මං හිතුවෙ ඔහු කොච්චර ප්‍රියමනාප පුංචි මනුස්සයෙක්ද කියලා"

"ඕහ් හොඳයි" යි පීටර් සාමිවරයා මුමුණනවා අැසුනි. සාමිවරයා විනෝදාංශයක් වශයෙන් සිදුකරන අපරාධ විමර්ශන කටයුතු සඳහ වක්‍රාකාරයෙන් අාදිපාදවරිය නිතරම සහය ලබාදුන්නාය. 

"කීයට විතරද මේ දේ සිද්ධ වෙලා තියෙන්නෙ, අම්මේ?" 

"මං හිතන්නෙ ඔහුව උදේ පාන්දරින්ම හොයාගෙන තියෙන්නෙ. නමුත් මං හිතනවා ඔහු එ් වෙලාවෙම ත්රොග්මෝර්ටන්ට එ් ගැන දැන්නුවෙ නැතුව අැති. අැය දහවල් අාහාරයට ටිකකට කලින් මං ළඟට අාවෙ. අැය ගොඩක් කරදරයෙන් සිටි නිසා මෙහි නතර වෙන්නැයි මං කිව්වා. කොහොමත් මගෙ අමුත්තෙක් කරදරයෙන් ඉන්නවට මං කැමති නෑ."

"ඕහ් ... අම්මෙ. හොඳයි මට මේ ගැන කියපු එක හොඳයි. මං බන්ටර්ව සේල් එකට යවලා බැට්ටර්සී වලට ඉක්මනින්ම යන්නම්. මං බලන්නම් මට මොකක්ද කරන්න පුළුවන් කියලා."

"හොඳයි දරුවො මං තියන්නම්"

"බන්ටර් ..."

"අැයි මගෙ ස්වාමීනි?"

"මැතිනිය මට කිව්වා අර බැට්ටර්සී වල හිටිය දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියාගෙ නිවසෙ තිබිලා  මළ සිරුරක් හම්බවෙලාලු. මළ සිරුර නාන බේසමේ තිබිලා හම්බවෙලා."

"ඕහ් ... අැත්තටමද ස්වාමීනි. එ්ක හරිම භයානකයි."

"එ්ක තමයි. මං හිතනවා එටොන් හා බලිඔල් මම වෙනුවෙන් මොනා හරි කරලා අැති කියලා. ඔයාට බඩු ලැයිස්තුව හම්බ වුණාද?"

"මේ තියෙන්නෙ ස්වාමීනි"

"ස්තූතියි. මං දැන් බැට්ටර්සී වලට යනවා. ඔයා දැන්ම සේල් එකට යන්න. කාලෙ නාස්ති කරන්නෙපා. බලන්න මං අවශ්‍ය කරන පොත් ගැන මේකෙ ලියලා තියෙනවා. මං එ් එකක්වත් නැති කරගන්න කැමති නෑ. මං මගේ ගණන් ගැනත් එකින් එක මේකෙ ලියලා තියෙනවා. කොහොම හරි ඔයාගෙ උපරිම උත්සාහය දරලා මේ ටික අරගන්න බලන්න. මං රෑ කෑම වෙලාවට අාපහු එන්නම්."

"හොඳමයි ස්වාමීනි"

"මං අාව කුලී රථය අැති. එ්කෙ යන්න. ඔහුට කියන්න ඉක්මනින් යන්න කියලා. ඔහු මට නම් එච්චර කැමැත්තක් පෙන්නුවෙ නෑ. එ්ත් ඔයාට එහෙම වෙන එකක් නෑ." යි කී පීටර් සාමි උස තොප්පියෙනුත් දිග කබායෙනුත් සැරසී කන්නාඩියෙන් ඔහුගේ ප්‍රතිබිම්බය දෙස මදක් බලා සිටියේය. මෙය ගමනට පමණට වඩා වැඩි යැයි ඔහුට සිතුනි. නැවතත් ඔහු බන්ටර්ට පැවරූ රාජකාරියේ වැදගත්කම මතක් කර දුනි. 

"ඕහ් ... දෙවියනේ එක පැත්තකින් ලෝකයේ වටිනාම පොතක් මිලදී ගන්න තිබෙන දුර්ලභ අවස්ථාවක් තවත් පැත්තකින් කුතුහලය දනවන මිනීමැරුමක්. පුද්ගලයෙක් අාසා කරන විනෝදාංශ දෙකක් එකවර මතු වෙද්දි කොහොමද දරාගන්නෙ" 

සාමිවරයා පැසේජය හරහා ගොස් සිය නිදන කාමරයට පැමිණියේය. ඔහුට අාවේණික නොවූ තරම් ඉක්මනින් ඔහු ගමනට සූදානම් විය. අඳුරු කොළ පැහැති ටයි පටියක් පැළඳි ඔහු ඊට ගැළපෙන මේස් යුවළක්ද තෝරා ගත්තේය. පැළඳ සිටි කළු සපත්තු යුවළ වෙනුවට දුඹුරු පැහැති සපත්තු ජෝඩුවක් තෝරා ගත් ඔහු තනි කාචයක්ද උඩ සාක්කුවට දමා ගත්තේය. ඉතා බරැති සිල්වර් මිටකින් යුත් අගනා මැලක්කා සැරයටියක්ද තෝරාගත්තේය. 

"දැන් හරි" ඔු තමාටම මුමුණා ගනිමින් පැතලි සිල්වර් පැහැති ගිනිපෙට්ටියක්ද තම උපකරණ අතරට එක් කරගත්තේය. හදිසියේස සිය ඔරලෝසුව වෙත නෙත් යොමු කළ ඔහු එහි වේලාව තුනට කාලක් ලෙස සටහන්ව අැතැයි දැක ඉක්මනින් පහළට පැමිණ බැට්ටර්සී උද්‍යානයට යෑම සඳහා ටැක්සියකට අඬ ගැසීය. 

අැල්ෆ්‍රඩ් තිප්ස් මහතා කුඩා සිරුරක් හිමි බයාදු පුද්ගලයෙකු විය. ඔහුගේ අකීකරු කෙස් වැටියත් ඔහුගේ දෙෙවය මෙනි. ඔහුගේ වම් අැහි බැමට ඉහළින් තිබූ තැලුම් සළකුණ නිසා එම බයාදු පෙනුමට යම් වෙනසක් එක් කළේය. 

 සාමිවරයා ඉදිරියට පැමිණි ඔහු ලැජ්ජාශීලීව අාචාර කරමින් එ් වෙනුවෙන් සමාවද අයදිමින් තමාටම යමක් මුමුණා ගනිමින් අඳුරු කෑම කාමරයේ දොරටුවෙන් ඉවතට අැඳුනි. පීටර් සාමිවරයාගේ කරුණාවනතබවත් නිහතමානී බවත් හමුවේ තිප්ස් ගේ දෙනෙතට කඳුළු නැගුණි. 

"මට විශ්වාසයි එ් ඔබගේ උදාර වංශවත් බව නිසයි ..." යි ඔහු සිය දහස් වතාවකට වඩා තම කුඩා අැහිපිය නටවමින් පැවසීය. 

"අැත්තෙන්ම ... මා එය අතිශයින්ම ... ඔව් අතිශයින්ම ... අැත්තවශයෙන්ම එය අගය කරනවා .... මගෙ අම්මා ගැන කියනවා නම්, අැය හොඳටම බිහිරියි. මං කැමති නැහැ ඔබතුමා අැය හමුවට පමුණුවා අපහසුතාවයට පත් කිරීමට. ඕහ් ... අැත්තටම අද නම් හරිම අප්‍රසන්න දවසක්." යි ඔහු පැවසීය. "මේ .... ගෙදරට පොලීසියෙන් පැමිණීමත්  ... අනෙක් හැම කලබැගෑනියක්මත් නිසා .." යි තිප්ස් යළිත් පැවසීය. 

"අැත්තටම මායි අම්මයි හරිම හුදකලා සරල ජීවිතයක් ගතකළේ. අැත්තෙන්ම ස්වාමීනී මනුස්සයෙකුගේ සාමාන්‍ය පුරුදු ජීවිතයට මේ වගේ  දෙයක් වෙන එක හරිම ඛේදනීයයි. අැත්තටම මං දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා අම්මට මේ දේවල් නොතේරෙන නිසා. එහෙම නොවුනා නම් අැත්තටම ලොකු දුකකටත් කලබලයකටත් පත්වෙන්න ඉඩ තිබුණා. මුලින්ම අැය මේ ගැන දැනගද්දි නම් ටිකක් කලබලයට පත් වුණා. නමුත් අැත්තටම වෙලා තියෙන දේ ගැන අැයට එ් හැටි තේරුමක් නැහැ. සමහරට විට මේ සිදුවීම් ගැන අැය වෙන විදිහකට හිතාගෙන අැති. එ්කත් හොඳයි."

තම පුතා පැමිණි බව දුටු මහලු කාන්තාව කරමින් සිටි ගෙතුම නවතා තම පුතා දෙස අප්‍රසන්න ප්‍රතිචාරයක් දැක්වීය. 

"අැල්ප්‍රඩ් මං උඹට කල්තියාම කිව්වා අර නාන බඳුනෙ කතාව ගැන පැමිණිලි කරන්න යන්නෙපා කියලා." යි බිහිර පුද්ගලයින්ටම අාවේණික වූ උස් රළු හඬින් අැය පැවසුවාය. "ගෙවල් අයිතිකාරයා දැන් මොනා කරයිද දන්නෑ. බලනවා මේ පොඩි දේටත් පොලීසිය ගාව ගත්ත එකෙන් වෙන දේ. හැමදාම මේ වගෙ පොඩි දේටත් කලබල වෙලා  ලෙඩක් දාගන්නවා."

"පොඩ්ඩක් ඉන්න" තිප්ස් මහතා සමාව අයදිමින් පැවසීය. "ඔබතුමාට පේනවා නේද තත්ත්වෙ. අැත්තටම අැය හිතාගෙන ඉන්නෙ අපි බාත්රූම් එක ලොක් කරලා නිසා එ්කට යන්න තහනම් කියලා විතරයි. අම්මා අැත්ත තත්ත්වෙ තේරුම් අරන් නැහැ. එ්ත් මගෙ පැත්තෙන් ගත්තහම මං ලොකු අවුලක පැටලිලා ඉන්නෙ. අැත්තටම ස්වාමීනී ... මට කියන්න ඕනෙ වුණේ මං තදබල ස්නායු කම්පනයකට පත් වෙලා ඉන්නෙ. උපන්තේකට මං මේ වගෙ දේකට මූණ දීලා නෑ."

"අැත්තටම උදේ වුණ සිදුවීම මට දරාගන්න අමාරුයි. මං එච්චර ශක්තිමත් මනසක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. අැත්තටම එ් භයානක අවස්ථාවේදී එ් භයානක කාමරයෙන් එළියට අැවිත් පොලීසියට කෝල් කළෙත් බොහොම අමාරුවෙන්. අැත්තටම මට මේක තදබල කම්පනයක්. මගෙ උදේ අාහාර වේලට මං අතවත් තිබ්බෙ නෑ. උදේ ඉදන් මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දීලාම මට එපා වෙලා. අැත්තටම මට හිතාගන්න බෑ මං මොනාද කරන්න ඕනෙ කියලා"

"ඔව් මට හිතාගන්න පුළුවන් එ්ක ඉතාම සංවේගජනකයි කියලා." සාමිවරයා පැවසීය. "අැත්තටම ඔබට උදේ අාහාරයවත් ගන්න බැරි වුණානෙ." දයාන්විතව ඔහු පැවසීය. "අැත්තටම දවස පටන් ගද්දිම මේ වගේ දේකට මූණ දෙන්න වෙන එක කොච්චර අප්‍රසන්නද" යි යළිත් සාමිවරයා පැවසීය. 

"එ්ක හරි. ඔව් අැත්ත. තිප්ස් මහතා පැවසීය. "අැත්තටම සම්පූර්ණයෙන්ම නිරුවත් එ් මළමිනිය මගේ නාන කාමරයෙ තියෙනවා දැක්කම මට අැස් අදහාගන්න බැරි වුණා. ස්වාමීනි මං ඔබට සහතික කරලා කියන්නම් මට එ්ක දැකලා වමනෙට අාවා. මගෙ බඩ දඟලන්න ගත්තා. සමාවෙන්න සර් මං එච්චර ශක්තිමත් මිනිහෙක් නෙමෙයි. අැත්තටම සමහර දවස්වලට මට උදේට පොඩි බඩදඟලන ගතියක් තියෙනවා. එ් වගෙ වෙලාවට මං මෙහෙකාරිය ලවා බ්රුන්ඩි ටිකක් ගෙන්නාගෙන බොනවා. එ්ක පුරුද්දක් විදිහට මං කරගෙන යන දෙයක්. හදිස්සියක් සඳහා ගන්න මං නිතරම බ්රුන්ඩි තියාගන්නවා. දන්නවනෙ ඉතින් ...?"

"ඔව් එ්ක හොඳයි." පීටර් සාමි පැවසීය. අැත්තටම ඔබ දුරදිග බලලා කටයුතු කරන පුද්ගලයෙක් තිප්ස් මහත්තයා." යි ඔහු උද්යෝගයෙන් පැවසීය. "පොඩි දෙයක් ගැන වුණත් ඔබ නිතරම සැළකිලිමත් වෙනවා වගෙ. එහෙම නේද? මට හිතෙනවා ඔබේ දැරිය සංවේදී තැනැත්තියක් කියලා. සාමාන්‍යයෙන් කාන්තාවක් මේ වගේ අවස්ථාවලදී ක්ලාන්ත වෙනවා ... කලබලයට පත්වෙනවා."

"ඕහ් ... ග්ලැඩිස් හොඳ දැරියක්." තිප්ස් පැවසීය. අැත්තෙන්ම අැය ඉතා වගකීමෙන් රාජකාරිය ඉටු කරනවා. මුලින්නම් අැය කම්පනයට පත් වුණා තමයි. එ්ත් පස්සෙ අැය පවතින තත්ත්වය වටහාගෙන කටයුතු කළා. මේ වගේ තත්ත්වයක මාත් කම්පනයට පත්වුණ එකේ එ් වගේ තරුණ යුවතියක් කම්පනයට පත්නොවී ඉඳියිද? නමුත් මේ අර්බුදකාරී අවස්ථාවෙදී අැය මාත් සමඟ සිටිමින් කඩිසරව මට උදව් කළා. අැත්තටම එ් අතින් මං වාසනාවන්තයි. අැය වගෙ විනීත දක්ෂ දැරියක් මගෙත් අම්මගෙත් සහයට ඉන්න එක ගැන. අැගෙනුත් යම් යම් අතපසුවීම් සිදුවෙනවා තමයි. නමුත් එ්වා අපි කා අතිනුත් සිදුවෙන්න පුළුවන් විදිහෙ දේවල්. අැත්තටම අැය මගෙන් සමාව අයැද සිටියා බාත්රූම් එකේ ජනේලය වහන්න අැයට අමතක වීම ගැන. මුලින්නම් මට එ් ගැන තරහා ගියා. එ්ත් අැත්තටම අැය එ්ක හිතලා කරපු දෙයක් නෙමෙයිනෙ. අැය කොහොමද දැනගන්නෙ මේ වගෙ නපුරු දෙයක් අදම වෙයි කියලා. අැත්තටම අැය මේ දවසවල ටිකක් කරදරයෙන් හිටියෙ. ඔබතුමා දන්නවනෙ ඉතින් ගෑනු ළමයි මොකක් හරි කරදරයකින් ඉද්දි සමහර දේවල් අමතක වෙනවානෙ. මං කැමති නෑ අැගෙ පෞද්ගලික දේවල් කියන්න. කොහොම වුණත් එ් වගෙ අසරණ දැරියකට මේ වගෙ අතපසුවීමකට මට සමාව දෙන්න පුළුවන්. 

"අැත්තටම මං අැයට තරවටු කලේ නෑ. මං අැයට අනතුරු අැඟෙව්වා විතරයි. ඔයා මුළු රෑම ජනේලෙ අැරලා තියලා මෙන්න දැන් මළමිනියක් ගේ අැතුළෙ. ඊළඟ වතාවෙ ඔයාගෙ අතින් මේ වගේ වැරැද්දක් වුණොත් ගෙවල් බිඳින්නෙක් අැවිත් අපි සේරම අපේ අැඳන්වලම මරලා දාලා යයි. මං එච්චරයි අැයට කිව්වෙ. එ්ත් අර පොලිස් පරීක්ෂක සග් අන්න අර අංගනයට වෙලා එ් අසරණ දරුවාගෙන් බොහොම දරුණු විදිහට ප්‍රශ්න අැහුවා. අැය හොඳටම බයවෙලා ඉන්නෙ පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් අැයව සැක කරනවා කියලා. එ්කට කොහොමද මේ අසරණ දරුවා සම්බන්ධ වෙන්නෙ?. බලාගෙන ඉන්න බැරි තැන මං ගිහින් පොලිස් පරීක්ෂකට කතා කළා. අැත්තෙන්ම ස්වාමීනී ඔහු මටත් බොහොම සැර පරුෂ විදිහට සැළකුවෙ. මට කියන්නත් හිතුනා ඔහේගෙ පිළිවෙල නම් වෙනස් කරගන්න වෙයි කියලා. එ් තරම් අශිෂ්ටයි. නමුත් මං අැත්තෙන්ම ඔහුට කිව්වෙ, මගෙ හරි ග්ලැඩිස්ගෙ හරි පිට වරද පටවන්න ඔහේ හිතාගෙන ඉන්නවා නම් එ් අදහස අහක් කරගන්න කියලයි. ඔබ දැනටමත් මේ ගෙදර ස්වාමියා වන මට අකාරුණික වෙලා ඉන්නෙ කියලත් මං මතක් කරලා දුන්නා." යි තිප්ස් මහතා පැවසීය. ඔහුගේ මුහුණ කෝපයෙන් රතු විය. "අැත්තටම මං පිළිවෙලකට ජීවත් වෙන සාමකාමී මනුස්සයෙක්. නමුත් ඔහු මාව අැවිස්සුවා. ඔව් ඔහු එහෙම කළා ස්වාමීනි"

"ඔහු නිතරම ඔය වගෙ තමයි" පීටර් සාමි පැවසීය. "මං ඔහුව දන්නවා. ඔහුට කරකියා ගන්න දෙයක් නැති වුණාම තවත් දරුණු වෙනවා. ඔයාවත් ග්ලැඩිස්වත් මිනිය ගන්න වෙලාවෙ එතැනට ගියෙ නැද්ද? මළසිරුරක් එක්ක රාජකාරී කරන්න වෙන එකත් හරිම කරදරකාරී දෙයක්. ඔහු දරුණු වෙන එක අහන්නත් දෙයක්ද. එ්ක නෙමෙයි ඔයා එතැන තිබිලා මොනා හරි ඉවත් කරගත්ත යමක් තියෙනවද?" සාමිවරයා විමසීය.

"මළසිරුර තාම බාත්රූම් එකේ තියෙන්නෙ." තිප්ස් මහතා පැවසීය. "පරීක්ෂක සග් අපිට උපදෙස් දුන්නා මිනිය ගෙන යන්න එනකන් කිසිම දෙයක් අල්ලන්නෙපා කියලා. ඔවුන් කොයි වෙලේද එන්නෙ කියලා මං මේ බලාගෙන ඉන්නෙ. අැත්තටම වංශාධිපතිතුමනි ඔබතුමා එ්ක දැකගන්න කැමැත්තෙන්ද ඉන්නෙ?"

"ඔව් මගේ අදහසත් එහෙම කරන්න තමයි." පීටර් සාමිවරයා පැවසීය. "ඔබත් කැමතිද එන්න?"

"අැත්තෙන්ම නැහැ" තිප්ස් මහතා පැවසීය. නමුත් ඔහුගේ හැදියාව නිසාම පීටර් සාමිවරයාට මඟපෙන්වීමට ඉදිරිපත් විය. යන අතරමග ඔහු කරුණු දෙකක් ගැන පීටර් සාමිවරයා දැනුම්වත් කරනු ලැබීය. පළමුවැන්න නම් ඔහු පෙන්වන්න යන මේ භයානක දර්ශනය ඔහුටත් මේ නිවාස සංකීර්ණයටත් ගෙනදී අැති නින්දාව ගැනයි. දෙවැන්න පරීක්ෂක සග් විසින් මෙය කාටවත් පෙන්නන්න එපා යැයි උපදෙස් දී අැති බවයි. "පොලීසිය මොනා කිව්වත් මං ගණන්ගන්නෙ නෑ. කෝකටත් මං හදිස්සියකදී ගන්න කියලා හැම දොරකම යතුරු දෙකක් තියාගෙන ඉන්නෙ." යි තිප්ස් මහතා සිය නිදන කාමරයේ සිට යතුර රැගෙන එන ගමන් පැවසීය. 

තිප්ස් මහතාගේ නාන කාමරය ඉතා අගනා නිර්මාණයක් විය. එය දිගු හා සිහින් විය. නාන බේසටම කෙලින්ම ඉහළින් ජනේලය රඳවා තිබුණි. එහි වීදුරුව මිනිසෙකුට රිංගා එ්මට තරම් ප්‍රමාණවත් විය. පීටර් සාමිවරයා වහා එය විවෘත කොට ඉන් පිටත බැලීය.
මෙය මහල් නිවාස සංකීර්ණයේ මැදට වන්නට තිබෙන ගොඩනැගිල්ලක මුදුනේම පිහිටා තිබුණි. ජනේලයේ අගුල අනෙක් මහල් වල පිටුපසට වන්නට පිහිටා තිබූ කුඩා මඩු, ගල් අඟුරු රඳවා තිබූ කුටීර, ගැරේජ් යනාදියට මුහුණලා තිබුණි. ශාන්ත ලූක්ස් රෝහල පිහිටා තිබෙන ප්‍රාසාද සංකීර්ණය කෙලින්ම පෙනුණි. බැට්ටර්සී පිටිය වටා වූ වටරවුම් මාර්ගය ප්‍රසිද්ධ ශෙෙල්‍ය වෙෙද්‍ය ජුලියන් ෆ්රේක් ගේ නිවහන දෙසට වැටී තිබුණි. ඔහු අලුතින් ඉදිකළ රෝහලේ සැත්කම් අංශය භාරව කටයුතු කරන අතර ඔහු හාර්ලි වීථියේ කීර්තිමත් ස්නායු ශෙෙල්‍ය වෙෙද්‍යවරයෙකු ලෙස නමක් දිනාගත් අයෙකි. 

සැළකිය යුතු දුරකින් සිටිමින් තිප්ස් මහතා පැවසූ මෙම තොරතුරු සාමිවරයාගේ සවනත වැකුණි. ක්වීන් කැරොලයින් මන්දිරයට පවා සාදරයෙන් පිළිගැනෙන ඔහුගේ ප්‍රතාපවත් අසල්වාසීන් ගැන තොරතුරු ඔහු පවසාගෙන ගියේය. 

"එතුමා පෞද්ගලිකවම අද මෙහි අාවා." යි ඔහු පැවසීය. "මොකද පරීක්ෂක සග් හිතුවා එතුමා මොකක් හරි විහිළුවක් කරලාද දන්නෑ කියලා. මොකද ඔවුන්ගේ කායවිච්ඡේදන කාමරේ නිතරම මේ වගෙ සිරුරු තියනවානෙ. ඉතින්න සග් මහත්තයා මුලින්ම ගිහින් සර් ජුලියන්ගෙන් ප්‍රශ්න කළා, ඔවුන් ළඟ තිබුණ මළසිරුරක් නැතිවෙලාද කියලා. ඔවුන් එහි යන විටත් සර් ජුලියන් කායවිච්ඡේදන කාමරේට වෙලා වැඩ කරමින් ඉඳලා තියෙන්නෙ. අැත්තටම ඔහු හරිම කරුණාවන්ත තැනැත්තෙක්. අැත්තෙන්ම ඔව් ... ඉතින් ඔහු සතු මළසිරුරු වල දත්ත තිබෙන ලේඛනය පෙන්වලා පැහැදිලි කරලා දීලා කිසිම සිරුරක් නැතිවෙලා නැහැ කියලා. එ් වගේම එතුමාගෙ තිබෙන කරුණාවන්තකම නිසාම එ් වෙලාවෙම මෙහි අාවා මේ නාන බේසමේ පළහිලව්ව බලන්න. මේ විදිහෙ මළ සිරුරක් තිබුණා කියන්න කිසිම වාර්තාවක් ඔවුන් ළඟ නෑ. ඉතින් එතුමා දුක් වුණා මේ සම්බන්ධයෙන් උදව් කරනන්න බැරි වෙන එක ගැන."

"රෝහලේ සිටින රෝගීන්ගේ වාර්තා අතරවත් මේ වගේ පුද්ගලයෙක් ගැන සඳහන් වෙලා නැද්ද?" යි පීටර් සාමි අැසීය.

මේ භයානක ඉඟිය කනවැකෙත්ම තිප්ස් මහතා සුදුමැලි විය. 

"පොලිස් පරීක්ෂක සග් එ් වගේ දෙයක් ගැන ප්‍රශ්න කරනවා නම් අැහුණෙ නෑ." යි ඔහු කැළඹීමෙන් යුතුව පැවසුවේය. "අැත්තටම එ් වගේ දෙයක් වෙලා නම් ... ඕහ් ... කොතරම් භයානකද? ... දෙවියනි .. මගේ අසරණ අාත්මයට අාශිර්වාද කරනු මැන! මේ වගේ දෙයක් ගැන මට නිකමටවත් හිතුනෙ නෑනෙ"

"හොඳයි ඔවුන්ගෙ රෝගීන්ගෙන් අයෙක් නැතිවෙලා නම් මේ වෙන කොටත් ඔවුන් එ් ගැන දැනගන්න ඕනෙනෙ" පීටර් සාමි පැවසීය. "හොඳයි අපි දැන් බලමු මේක ..." 

"මේ වගෙ අප්‍රසන්න දර්ශනයක් නැවතත් දකින එක ඔබට කරදරයක් වෙයි. එහෙම නේද? කමක් නැත්නම් මං එ්ක බලන්නද?" සාමිවරයා අත්කාචය සාක්කුවෙන් ගෙන අැසට තබා බලමින් අැසීය. 

විගස තිප්ස් මහතා කිසිදු පැකිලීමකින් තොරව නාන බඳුනේ අාවරණය ඉවත් කිරීම සඳහා ඔහුට සහය දුනි. පනස්වියේ පමණ පසු වූ උස, තරබාරු පුද්ගලයෙකුගේ සිරුරක් නාන බඳුනෙහි වැතිරී තිබුණි. ස්වභාවිකවම කැරලි සහිත වූ කළු පැහැති ඝන කෙස් වැටියක් ඔහුට සතුවිය. මනාව කොටට කපා තිබූ ඉන් වහනය වූ සියුම් වයලට් සුවඳ විලවුන් සුගන්ධය සම්පූර්ණයෙන්ම වසා තිබූ නාන කාමරය පුරා පැතිරී තිබුණි. ඔහුගේ කැළැල් සහිත මුහුණ මස්වලින් පිරී තිබුණු අතර ගොරෝසු හා දැඩි බවක් පෙන්වීය. ඉදිරියට නෙරා තිබූ කළු අැස් සහ දිගු නාසය නිකට මතට එල්ලා වැටී තිබුණි. ඔහුගේ තොල් වලින් කාමුක බවක් දිස්විය. එල්ලා වැටුණු හකු හා දුම්කොළ කහට බැදුණු දත් සහිත විය. නිරුවත් සිරුරේ දැවටී තිබූ රත්රන් නාසික උපැස් යුවළත් පපුවට එල්ලා වැටුණු එහි චේන් පොටත් නග්න සිරුරට විකාරරූපී හාස්‍යජනක ස්වභාවයක් එක්කර තිබුණි. දරදඬු දෙපා දෙපසට විහිදී තිබුණි. අත් දෙක සිරුර මත නිසලව තිබූ අතර ඔහුගේ අතැඟිලි ස්වභාවිකවම නැමී තිබුණි. සාමිවරයා අතක් ඔසවා බැලූ විට එය නොකැමැත්තෙන් මෙන් යළි සිරුර මතට කඩා වැටුණි. 

"ඔබේ මේ ජේත්තුකාර අමුත්තා කවුද?" ඔහු මිමිණීය. ඔහු මළසිරුරේ හිස අතගා බැලීය. එය අප්‍රසන්න දර්ශනයක් විය. එවිටම මළසිරුරේ රැඳී තිබූ හාස්‍යජනක කන්නාඩි යුවළ ලිස්සා ගොස් නාන බේසටම වැටුණි. ඉන් ධ්වනිත වූ හඬ යළිත් තිප්ස් මහතාගේ ස්නායු කම්පනයට පත්කිරීමට හේතු විය. 

"සමාවෙන්න උතුමාණෙනි."ඔහු මිමිණීය. "මට ටිකක් ක්ලාන්තෙට එන්න වගෙ" යි පවසා සාමිවරයාගේ ප්‍රතිචාරයට පවා පමා නොවී නාන කාමරයෙන් ඉවතට අැදී ගියේය. 

එ් ගැන අවධානය යොමු නොකළ පීටර් සාමිවරයා මළසිරුර පරිස්සමින් ඔසවා ජෝසෆ් චැම්බර්ලින් දුර්ලභ ඕකිඩ් මල් පරීක්ෂා කරනවාක් මෙන් අත්කාචය භාවිතයෙන් මළසිරුරෙහි හිසෙහි කොටසක් දැඩි පරික්ෂාවට ලක් කළේය. ඔහු මළ සිරුර තම අතේ රඳවා ගනිමින්ම සිල්වර් ගිනිපෙට්ටිය ගෙන විවෘතව තිබූ මුඛයෙන් යම් යම් කොටස් ඊට එක් කරගනු ලැබීය. නැවතත් ඔහු මළසිරුර තබා අරුම පුදුම උපැස් යුවළ වෙත අවධානය යොමු කළේය. ඔහු එම උපැස් යුවල තම දෙනෙතට තබා බැලීය. එවිටම ඔහුටම යම් හඬක් අැසුනි. වහා උපැස් යුවළ තිබූ පරිදිම තැන්පත් කොට මළසිරුර තිබූ පරිදිම වසා, ඔහුගේ සැරයටියේ අාධාරයෙන් ජනෙල් පියන් ද වසා පොලිස් පරීක්ෂක සග් ගේ කාර්යයට තමා අත පෙවූ බවට කිසිදු සළකුණක් ඉතිරි නොකොට වහා පැසේජයේ රැඳී සිටි තිප්ස් මහතා වෙත ගියේය. 

අාදිපාදවරයාගේ කනිෂ්ට පුතු කෙරෙහි දැඩි ළබැඳියාවක් තිප්ස් මහතා තුළ අැති විය. ලද අවසරයෙන් ඔහු එතුමා තේ මේසයට කැඳවාගෙන ගොස් සංග්‍රහ කිරීමට අමතක නොකළේය. 

ජනේලය තුළින් පෙනෙන බැට්ටර්සී උද්‍යානයේ සුන්දරත්වය වර්ණනා කරමින් සාමිවරයා සක්මනෙහි නිරත විය. එවිටම වාගේ ෆ්‍රින්ස් ඔෆ් වේල්ස් මාවත කෙරවළේ සිට ගිලන් රථයක් පැමිණෙනවා ඔහුගේ නෙත ගැටුණි. දෙවියන් විසින් පෙන්වූවාක් මෙන් දුටු මේ දසුනෙන් උද්යෝගයට පත් සාමිවරයා තිප්ස් මහතාගෙන් සමුගැනීමට සිතුවේය. 

ඔහු තිප්ස් මහතාට අතට අත දෙමින් සිය මෑණියන් ඔවුන් වෙනුවෙන් දුක් වූ බවත් අැගේ ශුභාසිංසන ඔවුන් වෙත අෑ පිරිනැමූ බවත් සැළකර සිටියේය. "ඉක්මනින්ම මේ කරදර ඉවරයක් වෙයි" යි ඔහු පැවසීය. සාමිවරයා මහලු කාන්තාවගේද අතගනිමින් අැයට සුබපතා "මං ගිහින් එන්නම්" යැයි හඬ නඟා කීය. 

"ඕහ් ... දෙවියනේ ... කරුණාකරලා සර් පහළට බහින්න එපා" කියත්ම සාමිවරයා වහා දොර දෙසට ගමන් කර දුම්රියපොළ දෙසට ගමන් කළේය. ඊට විරුද්ධ දිශාවේ සිට පැමිණි ගිලන් රථය තුළින් කොස්තාපල්වරු දෙදෙනෙකු සමඟ සග් පොලිස් පරීක්ෂකවරයා මතු වනු සාමිවරයා දුටුවේය. තමා සමඟ පැමිණි නිලධාරීන් දෙදෙනාට මැදුරෙහි රාජකාරී කටයුතු සම්බන්ධයෙන් යමක් පැවසූ පරීක්ෂක සග් පිටුපා යන පීටර් සාමිවරයා දෙස මහත් ඕනෑකමින් බැලුවේය. 

"ඕහ් ... සග් .... අසරණ වයසක හාදයා" යි වංශාධිපතිවරයාගේ මුවින් පිටවිය. "අනේ ... අසරණ මනුස්සයා ... ඔහු මාව පිළිකුල් කරනවා සත්තයි"



No comments:

Post a Comment