https://translationbooksinsinhala.blogspot.com/

Tuesday, August 21, 2018

හඳුනානොගත් මළසිරුර (3 පරිච්ඡේදය) - Whose Body? By :- Sayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර

3 පරිච්ඡේදය

ස්කාලර්ටි සොනාටා කියවා අවසන් කළ පීටර් සාමිවරයා එය අතේම තබාගෙන කල්පනාවේ නිමග්නව හිඳ සිට්යේය. ඔහුගේ ශක්තිමත් හා පුළුල් අැතැඟිලි තුඩු හතරැස් හැඩයක් ගති. තද අළු පැහැති දෙනෙත් වලින් දයාවන්ත බවක් දිස් විය. පියවී තිබූ දිගු මුවින් දැඩි බවක් පෙනුණි. වෙනත් අවස්ථාවන්හිදී නම් ඔහුගෙන් නිතරම ප්‍රසන්න බවක් දිස් විය. එමෙන්ම ඔහු දිගු හා සිහින් නිකටක් හිමි අයෙක් විය. පසුපසට වන්නට වූ නළලත් පිටුපසට කර මනාව පීරා තිබූ වර්ණ දෙකක් සේ පෙනෙන සිනිඳු කොණ්ඩයත් ඔහුගේ පෙනුම තවත් වැඩි කළේය. එහෙත් මුහුණ නිකට මත රඳවා ගෙන සිටි ඔහුගේ පෙනුම රදළ පෙනුමට වඩා බැරෑරුම් බවක් පෙන්වන කම්කරුවෙකුගේ පෙන්ම මෙන් විය.

"එ්කනම් නියම ලියවිල්ලක්" පාකර් කීය. 

"ඔව් එ්ක නරකමත් නෑ." පීටර් සාමිවරයා පැවසීය. "නමුත් මේක කොල්ලකෑමක් වගෙ. පියානෝ එකත් ගොඩක් අලුත්. හැම දෙයක්ම ඕනෑවට වැඩියි. අපේ වැඩේට ගැළපෙන්නෑ පාකර්. ඔබ මොකක් හරි නිගමනයකට අාවාද?"

"අර නාන බඳුනෙන හිටිය මනුස්සයා ...." පාකර් කියන්නට විය. "ඔහු තමන්ගෙ පෙනුම ගැන එච්චර උනන්දු වුණ කෙනෙක් නෙමෙයි. ඔහු ගොඩක් රැකියාවල නිරත වෙලා තියෙනවා. එ් වගේම රැකියාවක් හොයමින් හිටිය කෙනෙක්. මෑතකදි තමයි ඔහුගෙ රැකියාව අහිමි වෙලා තියෙන්නෙ. ඔහු මරණයට පත්වන මොහොත වෙනකනුත් රැකියාවක් සොයමින් ඉබාගාතේ අැවිද තිබෙනවා. කවුරු හරි පුද්ගලයෙක් ඔහුව මරලා හොඳින් සෝදලා සුවඳ ගල්වලා එ් වගේම රැවුලත් කපලා සරලව කියනවා නම් වෙස් ගන්වලා තිප්ස් මහත්තයාගේ නාන බඳුනට ගෙනැත් දමලා ... කිසිම සළකුණකුත් ඉතිරි නොකර. මගේ නිගමනය තමයි මේ මිනීමරුවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එක පාරටම ඔහුගෙ හුස්ම හිර කරලා මරලා තියෙනවා. ඔහුට හිතන්නවත් වෙලාවක් ලැබිලා නෑ. මං හිතන්නෙ ඔහු මොකක් හරි භයානක ගනුදෙනුවක පැටලිලා තියෙනවා. එ් වගේම අපිව නොමග යවන්න අර විදිහට කිසිම සළකුණක් නැතිව මළ සිරුර නාන බඳුනෙහි තැන්පත් කරලා නාසික උපැස් යුවළකුත් පළඳලා."

"ඔහු අපරාධවලට කියාපු මිනිහෙක්" විම්සෙ කීය. "කොහොම නමුත් උපැස් යුවල ගැන ඔබේ අදහස නම් පිළිගන්න වෙනවා. අැත්තෙන්ම එ්ක මැරුණු පුද්ගලයා පාවිච්චි කළ එකක් නෙමෙයි."

"එ්කෙන් ගැටලුව තවත් සංකීර්ණ වෙනවා. මිනීමරුවෙක් ඔහුගෙ කරුණාවන්තකමට අපට ඔහුව හඳුනාගන්න ලේසි වෙන්න කියලා සළකුණක් තියලා යාවිද?"

"අපිට එහෙම හිතන්න අමාරුයි. සමහර විට ඔහු මිනීමරලා පුරුද්දක් නැති අයෙක් වෙන්න පුළුවන්. නැතිනම් අමුතු ගතිපැවතුම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්"

"සමහර විට අති බිහිසුණු අන්දමේ විකාර මානසික තත්ත්වයක් තිබෙන අයෙක් ..."

"අැත්ත ... අඩුම තරමෙ මේ අවස්ථාවෙදි ඔහු එ් විදිහට හැසිරිලා තියෙනවා. මේ මරණයට එවැනි විකාර හැසිරීමක් හේතු වුණාද කියලා සැකයක් මට මුලදිම අැති වුණා. කොහො‍මද ඔහු මළසිරුර ගෙන අාවෙ? එහෙම ගෙනාවෙ අැයි? අපේ මිත්‍රයා සග් හිතන විදිහට ඔහුව දොරෙන් අරන් අැවිත්ද? නැතිනම් අපි හිතන විදිහට ජනේලයෙන්ද? ජනෙල් පඩිය මත තිබෙන අපැහැදිලි සළකුණ පමණක් එය ඔප්පු කරන්න ප්‍රමාණවත් නෑ. මොහුත් මිනීමරුවගෙ හවුල්කාරයෙක්වත්ද? තිප්ස් මහත්තයාගෙ මීට සම්බන්ධයක් තිබෙනවාද? නැතිනම් අර ගෑනු ළමයා මීට සම්බන්ධද? සග් නම් උසාවිය ඉස්සරහා එ්ක කොහොම හරි ඔප්පු කරන්න හදයි. සමහර මෝඩයිනුත් අැතැම් අවස්ථාවල නිවැරදි පාරට වැටෙනවා. එ්ක එහෙම නෙමෙයි නම් තිප්ස් මහත්තයව මේ විදිහට සමච්චලයට ගත්තෙ කවුද? තිප්ස් මහත්තයා එක්ක අමනාපයෙන් ඉන්න කවුරු හරි ඉන්නවාද? අනෙක් ගොඩනැගිල්ලෙහි ඉන්න පුද්ගලයින් කවුද? මේ කරුණු අපි හොයා ගන්න ඕනෙ. තිප්ස් මහත්තයා ඔවුන්ගෙ නින්දට බාධාවක් වෙන විදිහට මුළු රෑම පියානෝව වාදනය කරනවාවත්ද? නැතිනම් ගරු කටයුතු කාන්තාවන්ට හිරිහැරයක් වෙන විදිහට ඔහු හැසිරෙනවාද දන්නෑනෙ. එහෙමත් නැත්නම් මේ අසාර්ථක ගෘහනිර්මාණ ශිල්පියා ලේ පිපාසිතයෙක්ද? සේරම විකාරයක්. පාකර් මෙහි මොකක් හරි කොනක් තියෙන්නම ඕනෙ. කිසිම අපරාධයකට එහෙම යමක් නැති වෙන්නෑ."

"පිස්සු මිනිහෙක් ..."

"ඔහුගෙ පිස්සුව කියන්න බැරි තරම් විකාර විදිහට යොදා ගත්ත කෙනෙක් ... කිසිම අතපසුවීමක්වත් සිදු නොකර. විශේෂයෙන්ම මළසිරුරෙහි කටේ කෙස් ඔබා ගිය එකවත් අත්වැරදීමක් විදිහට ගන්න බෑ. හොඳයි ... කොහොම වුණත් එ් ලෙවි නෙමෙයි. මං මේ පරණ දේවල් කියව කියවා ඉන්නවා. නමුත් ඔබට අලුත් යමක් හොයාගන්න ලැබෙන්න අැති. ඔබට එහෙම දෙයක් හොයා ගන්න ලැබුණද? මට නම් මේකෙ කොනක් හොයා ගන්න බැරි වුණා. සර් රූබියන් අැඳුමක්වත් අරන් ගිහින් නෑනෙ. ඔහු කිසිම සළකුණක් නොතියා ගිහින් අපිට මේක එපා කරවනවා. නාසික උපැස් යුවළක් පැළඳි අද්භූත අාගන්තුකයා ගත්තොත් ඔහු ඕනෑවටත් වඩා විනීතයි. මේක නම් මළ විකාරයක්. මට නිලබලයෙන්ම මේකට සම්බන්ධ වෙන්න තරම් හේතු තියෙනවා."

දුරකතනය නාදවන්නට විය. අනික් දෙදෙනාටම මෙතෙක් අමතකව ගොස් සිටි නිශ්ශබ්දව පසු වූ බන්ටර් මෙහිදී වහා නැගිට දුරකතනය වෙත ගියේය. 

"එ් වයසක අාර්යාවයි ස්වාමීනී" ඔහු කීය. "මං හිතන්නෙ අැය බිහිරියි. මං කියන කිසිම දෙයක් අැයට අැහෙන්නෙ නැහැ. නමුත් අැය ඔබතුමාව අහනවා."

පීටර් සාමිවරයා දුරකතනය ගෙන එයට කෑ ගසන්නට විය. "හෙලෝ" ඔහුගේ උස් හඬ කාමරය පුරා රැව් දුනි. අනතුරුව ඔහු මඳ වේලාවක් නිශ්ශබ්දව අසා සිටියේය. ඔහුගේ මුවට නැගි සිහින් සිනහව ටිකින් ටික මුව පුරා පැතිර ගියේය. තවදුරටත් ඔහු කෑ ගසන්නට විය. "හොඳයි ... හොඳයි ..." කිහිප විටක්ම පැවසූ ඔහු දුරකතනය තැබුවේය. 

"දෙවියන්ගෙ නාමෙන් ..." ඔහු සිනහවෙන් යුතුව පැවසීය. "අසරණ මැහැල්ල මාව හිනාගැස්සුවා. එ් මහලු තිප්ස් මහත්මිය. අැය හොඳටම බිහිරියි. කවදාවත් දුරකතන අැමතුමක් අරන් නෑ වගෙ. අර අද්විතීය සග් අසරණ පුංචි තිප්ස් මහත්තයාව අත්අඩංගුවට අරන්. වයසක කාන්තාව තනියම ගෙදර. අවසාන වශයෙන් තිප්ස් මහත්තයා කෑගහලා කියලා තියෙන්නෙ පීටර් විම්සෙ සාමිවරයාට කතා කරන්න කියලා. අසරණ කාන්තාව දුරකතන නාමාවලිය පුරා බලමින් කරදර වෙන්නැති. අැගේ සුපුරුදු සාමකාමී ජීවන රටාව වෙනස් කරන්න අවස්ථාවක් අැවිත්. එ් වගේම නියම මහත්මයෙකුගේ රැකවරණය දැන් අැයට අවශ්‍ය වෙනවා. මං මට පුළුවන් තරමින් අැයට උදව් කරනවා. මං අැයට එ් බව කිව්වා. මං දැන්ම අැයට පණිවිඩයක් යවන්නම්. බන්ටර් ඔබේ විශිෂ්ට උපකරණ ටික ගන්න. අපි දැන්ම වැඩේට බහිමු. ගැටලු දෙකම විසඳා ගමු. ඔබට පුළුවන් අද මගෙ මළසිරුර බලන්න එන්න. හෙට යමු ඔබේ අපූරු යුදෙව් හාදයා ගැන හොයන්න. මට සතුට දරාගන්න බෑ. බන්ටර් ඉක්මනට මගෙ සපත්තු ගේන්න. අැත්තෙන්ම පාකර් ඔබ කැමතියි නේද මේ අවස්ථාවට සහභාගී වෙන්න. මෙන්න අත්මේස් අරගන්න. මගේ සැරයටිය. මගේ විදුලි පන්දම. දැහි අඬුව කොහිද. පිහියත් ඕනෙ. යමක් දා ගන්න කුඩා පෙට්ටි. හරි දැන් සේරම හරි."

"අැත්තෙන්ම ඔව් ස්වාමීනි"

"ඕහ් බන්ටර් කිසිම දෙයක් අමතක කරන්නෙපා. මං ඔබේ වැරැද්දක් කිව්වා නෙමෙයි. මට ඔබව විශ්වාසයි. පාකර් ඕනෑම කෙනෙක් අතින් අත්වැරදීම් වෙන්න පුළුවන්. මං දන්න මනුස්සයෙක් හිටියා. ඔහු ලෝකෙ ඉන්න භයානකම අපරාධකාරයෙක්ට පැනලා යන්න ඉඩ හැරියා. ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයේ අැති වුණු අාරවුලක් විසඳන්න මුරකරු ගිහින් තියෙනවා. එහිදි පවුම් පහේ මුදල් පතක් බාරගැනීම ගැන පොඩි විවාදයක් අැති වෙලා තියෙනවා. එ් අවස්ථාවෙ දුම්රියෙන් අාව අපරාධකරු බේකර් වීථිය පැත්තට පලා ගිහින්. ඊට පස්සේ එංගලන්තයෙ පරණ පල්ලියක දේවගැතිවරයෙකු ලෙස වෙස් වලාගෙන තම ලේලියත් එක්ක හොඳින් ජීවත්වෙන බවයි අාරංචි .... හරි අපි සූදානම්ද? ... එහෙනම් යමු." ඔවුන් පහළට බැස්සේය. අනතුරුව බන්ටර් විදුලි බුබුළු එකින් එන නිමා දමන්නට විය. 

ඔවුන් අන්ධකාරයට වැද පිකඩලිය දෙසට ගමන් කරන්නට විය. හදිසියේම පීටර් විසින් "පොඩ්ඩක් ඉන්න" යැයි හඬ නැගීය. "මට යමක් මතක් වුණා. සග් එහි හිටියොත් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට ඔහු විධිමත් විදිහට දැනුම් දෙන්න වෙනවා." ඔහු නැවතත් නිවහන වෙතට දිව ගියේය. එ් අතරතුර අනෙක් දෙදෙනා කුලී රථයක් නවතා ගැනීමට උත්සාහ කරන ලදී. 

සග් සහ ඔහුගේ නිලධාරීන් විසින් අංක 59 ක්වීන් කැරොලයින් මන්දිරය වටා අාරක්ෂාව තර කර තිබුණි. කිසිම නිලනොවන විමර්ශනයකට කිසිවෙකුටත් අත පෙවීමට නොහැකි විය. පාකර්ව නම් ඔවුන්ට ලේසියෙන් හරවා යැවිය නොහැකිය. නමුත් පීටර් සාමිවරයා වෙනුවෙන් තත්ත්වය ඊට වඩා වෙනස්ය. ඔහුගේ වංශාධිපතිකමවත් නොසළකා ඔහුව හරවා යවන්නට සැරසිණි. තිප්ස් මහතා වෙනුවෙන් තිප්ස් මහත්මිය රැක බලාගැනීමේ වගකීම තමන්ට පැවරී අැතැයි ඔහු අයදින්නට විය. 

"රැක බලා ගන්න" සග් රළු ලෙස හඬනගා සිනාසෙන්නට විය. "අැය එළියට යන්නැතිතාක් අාරක්ෂිතයි. අැය නම් එය කොහෙත්ම කරන එකක් නැහැ. අැත්තෙන්ම අැය බිහිරියි. එ් වගේම වෙන කිසිම දෙයක් වෙනුවෙන් අැගෙන් ප්‍රයෝජනයක් නෑ"

"මේ බලන්න ඉන්ස්පෙක්ටර් මහත්තයා." පීටර් සාමිවරයා කියන්නට විය. මේ විදිහට බාධා කරන්න හේතුව මොකක්ද? ඔබ මට යන්න අවසර දෙන එක හොඳයි ... මොකද ඔබ දන්නවා කොහොම හරි මං එහි යනවාමයි කියලා. මං දන්නවා ඔබට එ්කෙන් කිසිම වාසියක් නෑ තමයි ... ඔබ වෙනුවෙන් අර අැටන්බර්හි මරකත මැණික සොයා දීමට මට කවුරුවත් ගෙවීමක් නම් කළේ නැහැ"

"එ් දේවල් මහජනතාවගෙන් වසන් කරන එක මගේ රාජකාරිය." ඔහු රළු ලෙස පවසන්නට විය. "අනිත් එක දැන් එ්ක සිද්ධ වෙලා ඉවරයි"

"මං ඔබේ රාජකාරියේ වගකීම් ගැන වැරැද්දක් කියන්නෙ නෑ." පීටර් සාමිවරයා කියන්නට විය. අනතුරුව කිසිම අපහසුවකින් තොරව පඩිපෙළෙහි හිඳගත්තේය. මට කිසිම සැකයක් නෑ ... මේ දේවල් ප්‍රතිපත්තිවලට පටහැනි නෑ. අැරිස්ටෝටල් කිව්වා වගේ රත්තරන් කොටළුවෙක් වගෙ හැසිරෙන්න එපා. ඔබ කවදාවත් එ් විදිහට හැසිරිලා තියෙනවාද සග්? මං එහෙම කරනවා. මට එ්කෙ කිසිම ගානක් නෑ. ඔහු ගීයක් මුමුණන්නට විය. 

"මට තවත් ඔබත් එක්ක වාද කර කර ඉන්න වුවමනාවක් නෑ." සග් කීය. "දැන් මේක හොඳටම අැති ... කොර්ත්‍රෝන් අන්න අර මැහැල්ලගෙන් අවසර අරන් ගිහින් බලනවා ... දුරකතනය නාද වෙනවාද කොහෙද." පොලිස් පරීක්ෂකවරයා අණ කළේය. "අපිට මෙහෙ දෙවල් බලාගන්න පුළුවන්. එ්කට වෙන කවුරුවත් ඕනෙ නෑ."

කොස්තාපල්වරයා නැවත පැමිණියේය. 
"එ් මූලස්ථානයෙන් සර්." ඔහු සමාව අයදින ස්වරයෙන් කියන්නට විය. "ප්‍රධානීතුමා කිව්වා පීටර් සාමිවරයාට මෙහි අැතුළුවීමට සම්පූර්ණ අවසරය ලබාදී අැති බව." ඔහු පසුපසට වී ඉතා අපහසුවෙන් කියාගෙන ගියේය. 

"දැන් හරිනෙ" පීටර් සාමිවරයා කීය. "ඔන්න ලොකු තැනින්ම මට අවසරය ලැබුණා. දැන් මොකක්ද ඔබ කියන්නෙ?"

ඔහු අැතුළට ගමන් කරන විට ඔවුන්ද පසුපසින් පැමිණෙන්නට විය. 

පැය කිහිපයකට පෙර මළසිරුර ඉවත් කර තිබුණි. මුළු නිවසම ඔහු ගේ පියවි අැසට නිරීක්ෂණය විය. එමෙන්ම බන්ටර්ගේ විශිෂ්ට කැමරාවටද සියලු දේ හසුවිය. ඊට යම් බාධාවක් වූවා නම් එ් මහලු තිප්ස් මහත්මියගෙන් පමණි. අැයගේ සේවිකාවත් පුත්‍රයාත් දෙදෙනාම ගෙන ගොස්ය. එ් වගේම නගරය තුළ ඔවුන්ගෙ මිතුරන් යැයි කිවහැකි කිසිවෙකුත් නැත. තිප්ස් මහතා රාජකාරීමය වශයෙන් හඳුනාගත් කිහිප දෙනෙකු සිටියද ඔවුන් ද තිප්ස් මහත්මිය නොහඳුනයි. මෙම මහල් නිවාසයෙහි පවුල් 7ක් වාසය කරයි. ඔවුන්ගෙන් වැඩි දෙෙනකු මේ වන විට ශීත ඍතුවේ නිවාඩුව සඳහා විදේශ ගතවී අැත. එක් මහලක ඉතා සැර පරුෂ ගතිපැවතුම් අැති යුධ හමුදාවේ සේවය කර ඉන්දියාවේ සිට පැමිණි සේනාධිපතිවරයෙකු සිය ඉන්දීය මෙහෙකරුවාද සමඟ වාසය කරයි. තවද ඉතා වැදගත් ලෙස ජීවත් වන පවුලක් තුන්වන මහලේ වාසය කරයි. මෙම කලබැගෑනියෙන් ඔවුහු වඩාත් අපහසුතාවයට පත්ව සිටියහ. නිදන අැදුමින්ම විම්සේ සාමිවරයා ඉදිරියේ පෙනී සිටි ගෙහිමියා විසින් පීටර් සාමිවරයාට මැසිවිලි නගන්නට විය. නමුත් අැප්ලිඩෝර් මහත්මිය ඔහුව මේ කරදරයෙන් මුදවා ගන්නට වහා පැමිණියාය. "මට සමාවෙන්න" අැය කීවාය. "අපිට මේකට කොහෙත්ම මැදිහත් වෙන්න විදිහක් නෑ. මේක අැත්තටම අප්‍රසන්න දෙයක්. මහත්මයා ... මට සමාවෙන්න මට ඔබේ නම අැහුණෙ නෑ ... කොහොම වුණත් පොලීසියෙ වැඩ වලින් අෑත් වෙලා ඉන්න එක අපිට හොඳයි කියලා මං හිතනවා. තිප්ස් මහත්තයා මේ සම්බන්ධයෙන් නිවැරදිකරු නම්.. මං හිතනවා එහෙම වෙන්න අැති කියලා .. එ්ක එහෙම නම් අැත්තටම හරිම අවාසනාවන්ත දෙයක් ඔවුන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. එ් වුණත් මෙහි යම් අමුත්තක් තිබෙනවා. අැත්තටම මේක සැකකටයුතු වගේම අැදහිය නොහැකි දෙයක්. අපි වැරදිකරුට උදව් දුන්නා කියලා අහගන්න මං කැමති නෑ. අපි මේකෙන් අෑත් වෙලා ඉන්න එක තමයි හොඳම දේ ... තරුණ මහත්මයා"

"මේ පීටර් විම්සෙ සාමිවරයා" ගෙහිමියා මෘදුව සිය බිරිදට පැවසීය. නමුත් අැය එය එතරම් තැකීමක් කළේ නැත. 

"අහ් ... ඔව්." අැගේ මුවින් පිටවිය. "ඔබ මගේ ළඟම ඥාතියෙක් වන ක්‍රිස්බෘෘක් හි බිෂොප්වරයාගේ දුරින් නෑයෙක් වන බව හිතනවා. අසරණ මනුස්සයා .. අකාලේ මිය ගියා. මං හිතනවා ඔහුගෙන් පසුව ඔබට එ් තැන හිමි වෙන්න අැති .. පීටර් සාමිවරයාණෙනි"

"එ් ගැන නම් විශ්වාසයක් නෑ." පීටර් සාමිවරයා කීය. "ඔහු සමඟ යම් දැන අැදුනුම්කමක් තිබුණා කියන්න විතරයි මං දන්නෙ. ඔබව අඳුනාගන්න ලැබීමත් සතුටක් අාර්යාවනි. මේ මහ රෑ ඔබට කරදර කරන්න වීම ගැන මට සමාවෙන්න. ඔබ කිව්වා වගේ පවුලෙ හැමෝම එක්ක සතුටින් ඉන්න වෙලාවක ... මෙහෙම කරදර කරන එකට සමාවෙන්න. ඔබේ කරුණාවන්තකමට මං ගරු කරනවා. කිසිම දේයක් ගැන වද  වෙන්න ඕනෙ නෑ. අැප්ලිඩෝර් මහත්මයා මං හිතනවා මේ වෙලාවෙ මං කරන්න ඕනෙ හොඳම දේ තමයි අර වයසක කාන්තාව මගේ මෑණියන් ළඟට එක්කගෙන යන එක. මං දන්නවා ඔබ වගේ නියම ක්‍රිස්තියානි මහත්මයෙක් සාමකාමීව ජීවත් වෙන්න ගොඩක් කැමතියි. සුබ රාත්‍රියක් මහත්මයා. සුබ රාත්‍රියක් අාර්යාවනි. මට මෙහෙම යන්න දෙන එකෙන් ඔබට පාඩුවක් වෙන්න පුළුවන්."

"හොඳයි" ඔහුගේ පිටුපසින් දොර වසනවාත් සමඟම අැප්ලිඩෝර් මහත්මියගේ මුවින් පිටවෙනවා අැසුණි. 

පීටර් සාමිවරයා ගීයක් මුමුණන්නට විය. "මට සළකපු විදිහෙ නම් කිසිම ගරුසරුකමක් නෑ."

පාන්දර දෙක වන විට ඩෙන්වර් මන්දිරයේ ඩෝවර් නිවහන වෙත මිතුරෙකුගේ මෝටර් රථයකින් පීටර් සාමිවරයා පැමිණියේය. පැරණි පන්නයේ ගමන් මල්ලක්ද සහිතව වයසක බිහිරි කාන්තාවද ඔහු සමඟ විය.

 * * * 
"ඔබව දැකීමත් සතුටක්" ඩොවේජර් අාදිපාදවරිය ශාන්තව පැවසීය. අැය කුඩා නමුත් තරබාරු කාන්තාවක් විය. කෙස් වැටිය මුළුමනින්ම සුදු පැහැයට හැරී තිබුණි. දෑත් ඉතා ප්‍රාණවත් විය. අැය තම දෙවෙනි පුතුට දැඩි සේ අැලුම් කළත් කිසිසේත්ම අැය ඔහු මෙන් නොවීය. අැගේ කළු පැහැති දෙනෙත් කාන්තිමත්ව බැබලුණි. අවස්ථාවට ගැළපෙන අාකාරයට හැසිරීමටත් ඉක්මනින් තීරණ ගැනීමටත් අැය සමත් වූවාය. අැය නිසලව හිඳගෙන පීටර් සාමිවරයා සීතල වූ හරක් මස් චීස් සමඟ අාහාරයට ගන්නා අාකාරය බලා සිටියාය. මෙලෙස ඔහුගේ අවේලාවේ පැමිණීම් දැන් අැයට හුරු වී තිබේ. 



"අර වයසක කාන්තාව නිදාගන්න යැව්වද?" පීටර් සාමිවරයා අැසීය. 

"ඔව් මගෙ දරුවො. හරිම සිත්ගන්නා ප්‍රියමනාප කාන්තාවක්. එහෙම නේද? එ් වගේම හරිම නිර්භීතයි. අැය මට කිව්වා අැය මීට පෙර මෝටර් රථයක ගමන් කර නැතිලු. ඔබ හරිම කරුණාවන්ත කොලු ගැටයෙක් කියලා අැය කිව්වා. නමුත් අෑ ඉදිරියේදී ටිකක් පරිස්සම් වෙන්න. ඔබව දකිද්දි අැයට අැගේ පුතාව මතක් වෙනවා අැති. අසරණ තිප්ස් මහත්මයා. ඔබේ මිත්‍ර පොලිස් පරීක්ෂකවරයා කොහොමද හිතුවෙ ඔහුට කෙනෙක් මරන්න තරම් හැකියාවක් තියෙනවා කියලා?"

"මගේ මිත්‍රයා ... අර පොලිස් පරීක්ෂකවරයා ... ඕහ් නෑ ... කොහෙත්ම නෑ ..... ස්තූතියි අම්මේ .....  ඔබ දන්නවාද ඔහු ඔප්පු කරන්න හැදුවා කලින්දා රාත්‍රියේ දී අභිරහස් ලෙස තමන්ගෙ නිවසින් අතුරුදහන් වුණ සර් රූබියන් ලෙවි කියන මහත්මයාගෙ සිරුර තමයි මේ තිප්ස් මහත්තයාගෙ නාන බඳුනෙ තිබිලා හම්බ වුණේ කියලා. ඔහුගෙ එකම සාක්ෂිය තමයි ඔහුත් අතුරුදහන් වෙලා තිබුණෙ කිසිම අැඳුමක්් නැතිව. ඔහුත් මැදි වසසෙ පසුවුණ කෙනෙක්. ඉතින් ඔහු හිතුවා කිසිම අැඳුමක් නැතිව පාර්ක් වීථියේ සිට අතුරුදහන් වූ මේ මැදි වයසේ මනුස්සයා බැට්ටර්සී වලින් මතු වුණා කියලා. එහෙම හිතලා අර අහිංසක තිප්ස් මහත්තයාට විලංගු දැම්මා."

"අැත්තෙන්ම දරුවො ..." අාදිපාදවරිය ශාන්තව විමසුවාය. "නමුත් එ් ඔහුම වුණත් මොකටද ඉතින් තිප්ස් මහත්තයාව අත්අඩංගුවට ගන්නේ?"

"සග්ට ඉතින් කාව හරි අත්අඩංගුවට ගන්න ඕනෙනෙ." පීටර් සාමිවරයා කීය. "ඉතින් මේ පුංචි හෙළිදරව්ව සග්ගෙ න්‍යායට හොඳින් ගැළපුණා. මං දැන ගත්ත විදිහට කලින්දා රාත්‍රියෙ 9.15 ට විතර එක් තරුණ කාන්තාවක් යම් පෞද්ගලික කටයුත්තක් සඳහා බැට්ටර්සී උද්‍යාන මාවත දිගේ අැවිද ගොස් තිබෙනවා. එහිදී අැය දැක තිබෙනවා ලොම් කබායක් හා උස් හිස් වැස්මක් පැළඳි අයෙක් කුඩයකුත් අතින් ගෙන සෑම වීථියකම නම් දෙස බලමින් අැවිද යන අයුරු. අැය එතරම් කුලෑටි තරුණියක් නෙමෙයි. ඉතින් අැය ඔහු ළඟට ගිහින් සුබ සන්ධ්‍යාවක් පාර්ථනා කරලා තියෙනවා. අනතුරුව මේ අද්භූත අාගන්තුකයා "කරුණාකරලා මට කියන්න පුළුවන්ද ... වේල්ස් කුමර වීථියට යන්නෙ කොහොමද කියලා" යැයි විමසා තිබෙනවා. අැය කියලා ඔහු දැනටමත් සිටින්නෙ එහි කියලා. ඉන් අනතුරුව පොඩි සංවාදයක් අැති වෙලා තියෙනවා .... ඉතින් මේ සුළු කාරණය සග්ගෙ හිතේ තිබුණු මුළු බරම ඉවත් කරන්න ප්‍රමාණවත්. ඔහුගෙ මේ උද්දච්චකමට තමයි අපේ රට ගෙවන්ෙන. වෙන මොකක්ද ඔහුගෙන් අැති ප්‍රයෝජනේ.... කොහොම වුණත් අර වයසක හාදයා ඔහු යම් හමුවීමක් යොදා ගෙන තියෙන බව පවසා ඉක්මනින්ම එතැනින් ඉවත්ව ගිහින් තියෙනවා. ඉන් අනතුරුව ඔහු වේල්ස් කුමර මාවතේ සිට අැලෙක්සැන්ඩ්‍රා වීථිය දිගේ ගමන් කළාලු. ඊට පස්සෙ අැයත් අැගේ මිතුරෙක් හමුවෙන්න ගිය ගමන සඳහා ඔහු ගිය පැත්තට විරුද්ධ දිශාවට ගමන් කරලා තියෙනවා. 

අැය මිතුරා හමුවට යන විටත් මගදී හමු වූ අමුත්තා පිළිබඳ කුතුහලයෙන් පසුවී තිබෙනවා. "අහ් ... එ් ගැන වද වෙන්න ඕනෙ නෑ. කියන විදිහට නම් එ් අර ලෙවි මහත්තයා වෙන්න ඕනෙ. ලන්ඩනයේ ප්‍රභූන් වාසය කරන වෙළඳසැල් පිහිටි කොටසෙහි තමයි ඔහු වාසය කරන්නෙ. මාත් එහි හිටිය කාලෙදි ඔහුව දැනගෙන සිටියා" යි අැය නම හෙළි කිරීමට අකමැති අැගේ මිතුරා විසින් පවසා තිබුණා. ඉන් අනතුරුව අැය එ් ගැන තවදුරටත් හිතන්න ගිහින් නෑ. නමුත් එ් කිරි ගෙනෙන්නා උදේ පත්තරය ගෙනැත් දෙන තුරු පමණයි. උදෑසන පුවත්පතින් ක්වීන් කැරොලයින් මන්දිරයේ පළහිලව්ව කියවූ ගමන්ම අැය එ් පැත්තෙ ගිහින් තියෙනවා. පොලීසිය හමුවට යන්න අකමැති වූ අැය එහි සිටි පුද්ගලයෙකුගෙන් මරණයට පත්ව සිටින පුද්ගලයාට රැවුලක් තිබේදැයි විමසලා. එ් වගේම ඔහු උපැස් යුවළක් පැළඳ සිටීදැයි වැඩිදුරටත් අැසුවාලු. එවිට එම පුද්ගලයා පැවසුවාලු උපැස් යුවළක් පැළඳ සිටියත් ඔහු රැවුල වවා තිබෙන පුද්ගලයෙක් නොවන බව. එවිට අැය "ඕහ් ... එහෙනම් එ් ඔහු නෙමෙයි" යැයි පවසා තිබෙනවා. අපරික්ෂාකාරීව අැය පැවසූ එම වදන් සග්ගෙ කනට වැටිලා. "කවුරු නෙමෙයි කියලාද කිව්වෙ?" ඔහු තරුණියව කරමුලින්ම අල්ලාගෙන. අැගේ කතාවෙන් සග් හොඳටම තෘප්තියට පත්වෙලා. තිප්ස් මහත්තයාව හිරේ දාන්න එ් ටික හොඳටම ප්‍රමාණවත් වුණා."

"අනේ ..." අාදිපාදවරිය කියන්නට වූවාය. "මං හිතනවා අර අසරණ තරුණියට ඉන් කරදරයක් වුණේ නැතැයි කියලා"

"එහෙමම හිතන්නත් බෑ." පීටර් සාමිවරයා කීය. "තිප්ස්ගෙ බෙල්ලට තොන්ඩුව වැටෙන්නත් බැරි නෑ. ඔහු මහ තකතීරු වැඩක් කරලනෙ. පෙනෙන විදිහට තිප්ස් මහත්තයා මැන්චෙස්ටර් සිට එ්මට දුම්රිය අල්ලා ගනිද්දි මොකක් හරි පටලැවිල්ලක් හදාගෙන තියෙනවා. දුම්රිය 10.30 වෙද්දි ළඟා වෙලා. නමුත් ග්ලැඩිස් මෙනවිය කියලා තියෙනවා ඔහු 11.45 වෙද්දිත් අැවිත් හිටියෙ නෑ කියලා. ඉතින් තිප්ස්ට මේ ගැන උත්තර බඳින්න සිදු වුණා. ඔහු ගොත ගසමින් ඉතා අදක්ෂ ලෙස කියා සිටියේ දුම්රිය මග හැරුණු බවයි. නමුත් සග් විසින් සෙන් පැන්ක්‍රිස් හි කළ විමර්ශනයන්ට අනුව තිප්ස් මහතා අැඳුම් කාමරයෙහි යම් බෑගයක් දමා ගිහින් තිබෙනවා. එ් 10ට. ඊට පස්සෙ තිප්ස් මහතා කියලා තියෙනවා ඔහු මිතුරෙක් හමුවීමට ගිය බව. නමුත් ඔහු මිතුරා හමු වුණාද නැද්ද, හමු වුණා නම් එ් කීයටද, අැයි ඔහු බෑගය ගන්න යළි ගියෙ නැත්තෙ, ඔහු අාපසු පැමිණි වෙලාව ... මේ කිසිම දේකට ඔහුට හරියට උත්තර දී ගන්න බැරි වෙලා. අැත්තටම ඔහු මුකුත්ම හරියට කියලා නෑ. ඉතින් ග්ලැඩිස් මෙනවිය නැවතත් කියා තිබෙනවා අැයට නොඅැසී ඔහු 10.30ට පමණ නිවසට එන්න අැති කියලා. අැයි අැයට එ්ක අැහුණෙ නැත්තෙ කියන එකට අෑ ළඟ උත්තරයක් තිබිලා නෑ. එ් වගේම කලින් ඔහු අා වෙලාව අැහුණ බව කිව්වෙ අැයි කියන එකටත් අැය හරියට උත්තර දීලා නෑ. සිරගෙට යෑමට සිදුවීමත් හැමෝගෙම සැකය අැය වෙත එල්ල වීමත් නිසා අැයට හොඳටම අඬනවා අැර කිසිම දේකට උත්තර දී ගන්න බැරි වෙලා"

"අනේ දරුවො ... ඔයා කියන විදිහට කිසිම ගරුසරුවක් නැතිවයි ඔවුන් කටයුතු කරලා තියෙන්නෙ" අාදිපාදවරිය කීවාය. "අසරණ තිප්ස් මහත්තයා ... ඔහු හැමදේටම වඩා නැති වුණ නම්බුව ගැන දුක් වෙනවා අැති"

"මාත් එහෙම හිතනවා" පීටර් සාමිවරයා කල්පනාවේ නිමග්නව කීය. "මං කොහෙත්ම හිතන්නෑ ඔහු මේ මිනීමැරුමට සම්බන්ධ අැති කියලා. මං විශ්වාස කරනවා මේ හාදයා දින දෙකකට හෝ තුනකට කලින් මිය ගිය අයෙක්. වෙෙද්‍යවරයාගේ තහවුරු කිරීමෙන් එය තවත් පැහැදිලි වෙනවා ... මේක හරි සිත් අැදගන්නා සුළු කරුණක්."

"ගොඩක්ම කුතුහලය දනවන දෙයක් දරුවො. සර් රූබියන් ගැනත් ගොඩක් කනගාටුයි. මං හිතන්නෙ ලෙවි අාර්යාවට හිත හැදෙන්න යමක් ලියලා යැව්වොත් හොඳයි. ඔබ දන්නවාද හැම්ෂයර් පළාතෙ කුඩා දැරියක්ව ඉන්න කාලයේ සිට මං අැයව හොඳින් අඳුනනවා. එවිට අැගේ නම ක්‍රිස්ටියන් ෆෝර්ඩ්. අැය යුදෙව් ජාතිකයෙක් බඳින එක ගැනත් ලොකු කරදරයක් හදා ගත්තා. නමුත් ඔහු අැමරිකාවෙ තෙල් සම්බන්ධ ව්‍යාපාරවලින් විශාල ධනයක් රැස් කරගත්තාට පස්සෙ එ් හැම දෙයක්ම හරි ගියා. අැගේ පවුලේ අයට ඕනෙ වෙලා තිබුණෙ ඔවුන් හොඳින් හඳුනන ජූලියන් ෆ්රේක්ට අැයව බන්දලා දෙන්න. නමුත් අැය ලෙවි මහතා සමඟ අාදරයෙන් බැඳී ඔහුත් සමඟ හොර රහසේම පලා ගියා. ඔබ දන්නවානෙ ඔහු විදේශීය හුරුවක් තිබූ ඉතා කඩවසම් පුද්ගලයෙක්. නමුත් ෆෝඩ් ඔහුගෙ අාගමට නම් කැමැත්තක් දැක්වුවෙ නෑ. අැත්තෙන්ම දැන්නම් අපිට යුදෙව්වන් ගොඩක් අැසුරු කරන්න ලැබෙනවා තමයි. එ්ත් ඔවුන් හරි අමුතුයි. මතකද අර ප්‍රොචෙස්ටර් අාර්යාවගෙ නිවසේදී හමුවුණ විම්සන් මහත්තයා. ඔහු නිතරම හැමෝටම කියනවා ඔහුගෙ නාසය ඉතාලි පුනරුදයෙන් ලැබුණු දෙයක් කියල. එ්කෙ අැත්තක් තියෙනවාද දන්නෑ. කොහොම වුණත් අර ලා බෙල්ලා සිමොනෙටා ... හරිම අඥානයි. එ් වගේම මොහුගෙත් අමුතු ගතිපැවතුම් තිබුණද දන්නෑ. අැත්තෙන්ම යුදෙව්වන් අතරත් ඉතාමත් යහපත් ගති පැවතුම් අැති පුද්ගලයින් ඉන්නවා තමයි. මං පෞද්ගලිකව විශ්වාස කරනවා ඔවුන්ගෙ ගති පැවතුම් අපිව අපහසුතාවයට පත් කරනවා කියලා. සෙනසුරාදාට වැඩ නොකිරීම, පුංචි දරුවන් සුන්නත් කිරීම, සඳ මත හැමදේම තීරණය කිරීම වගේ දේවල් ... ඔවුන්ගෙ නම් හරිම ග්‍රාම්‍යයි. එ් වගේම උදේ අාහාර වේලට උෟරු මස් නොගන්නා එක .... එ් වගේ අමුතු වැඩ තමයි ඔවුන් ළඟ තියෙන්නෙ. තාමත් ඔවුන් එ් පුරුදු අත්හැරගෙන නෑ. අැත්තටම කාන්තාවක් එ් වගේ තැනැත්තෙක් බඳිනවා නම් එ් මුළු හදින්ම අාදරේ කරනවා නම් පමණක්ම වෙන්න ඕනෙ. ෆ්රේක් ඉතාමත් කැමැත්තෙන් හිටියා අැයට. එ් වගේම ඔවුන් තාමත් ඉතාම හොඳ මිතුරන්. ඔවුන් විවාහ ගිවිසගෙන නම් හිටියෙ නෑ. අැයගෙ පියා සමඟ අැති කරගත් එකඟතාවයක් පමණයි තිබුණෙ. නමුත් ඔහු කවදාවත්ම වෙනත් අයෙක් කසාද බැන්දෙ නැහැ. රෝහල එහා පැත්තෙ තියෙන විශාල මන්දිරයෙ ඔහු තනියම වාසය කරනවා. ඔහු දැන් ගොඩක් පොහොසත් වගේම කීර්තිමත් අයෙක්. මේන්වරින්ග් අාර්යාවට ඕනෙ කරලා තිබුණෙ අැගේ වැඩිමහල් දියණියව ඔහුට කසාද බන්දලා දෙන්න. නමුත් ඔහු ඊට දැක්වුවෙ අැල්මැරුණු ප්‍රතිචාරයක්. මට අද වගෙ මතකයි ඔහු කීව දේවල්. ශෙෙල්‍ය වෙෙද්‍යවරයෙකුගෙන් ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙලා තේරුමක් නෑ. ඔහු එහෙමයි කිව්වෙ. මේ දේවල් වලින් ඕනෑම කෙනෙක්ට ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්."

"ලෙවි අාර්යාව කෙනෙක් ගොඩක් අැලුම් කිරීමට තරම් ප්‍රියමනාප කෙනෙක් වගෙ" පීටර් කීය. "අතුරුදහන් වූ ලෙවි මහතා පවා ... "

"එ්ක නම් අැත්ත දරුවො. අැය ඉතාමත් සුන්දරයි. අැගේ දියණියත් එ් වගේමයි. අැගේ විවාහයෙන් පසුවත් සුන්දරත්වයේ නම් අඩුවක් වෙලා නෑ. ඔබේ පියා නම් ඕවා ගැන වැඩි උනන්දුවක් නෑ. එ්ත් ඉතින් මං එ්වා ගැන හොයලා බලනවානෙ. මිනිස්සු නම් කියන්නෙ ඔවුන් එකිනෙකා වෙනුවෙන්ම මැව්ව යුවළක් කියලා. රූබියන් මහතා පවා පිටටවත් යන්නෙ නැතිව නිවසේම රැඳී සිටි අයෙක්. මං කියන්නෙ විදේශ රටවලට නෙමෙයි ... අඩුම තරමෙ වන්දනාවකටවත් නොගිහින් නිවසටම වෙලා ඉඳලා තියෙනවා."

"ඔව්" පීටර් කීය. "මට සහතිකයි ඔහුට සතුරන් කිහිප දෙනෙක්වත් ඉන්නැති"

"ඩෝසන් ... කොතරම් භයානක නගරයක්ද? එහෙම නේද? එහි ගිය හැමෝම කරදරවලට මුහුණ දුන්නා. සර් රූබියන් එ් ජීවිතේ ගැන කතා කරනවාවත් මම අහලා නෑ. ඔබට අැහිලා තියෙනවාද? ඔහු අවජාතකයෙක්වත්ද දන්නෑ. නැතිනම් සම්පූර්ණයෙන්ම යුදෙව්වෙක් නෙමේද දන්නෑ. කොහොම වුණත් මට නම් මේ මනුස්සයින් එතරම් රුස්සන්ෙන නෑ. 

පීටර් සාමිවරයා සිනාසෙමින් අෑනුම් අරින්නට විය. 
"මට තව පැයකින් දෙකකින් අාපහු යන්න වෙයි." ඔහු කියන්නට විය. "8 වෙද්දි මං නගරයෙහි ඉන්න ඕනෙ. උදේ කෑමට පාකර් එහි එනවා කිව්වා"

අාදිපාදවරිය ඔරලෝසුව දෙස බැලුවාය. එහි වේලාව තුනට විනාඩි පහක් ලෙස සටහන්ව තිබුණි. 
"මං 6.30 ට විතර ඔයාව අවදි කරන්නම්." අැය කීවාය. "ඔබ වෙනුවෙන් හැමදේම ලෑස්ති කරලයි තියෙන්නෙ. මං ඔවුන්ට කිව්වා උණු වතුර බෝතලයකුත් ඔබ වෙනුවෙන් ලෑස්ති කරන්න කියලා. එ් වගේම සැපපහසු ලිනන් අැඳ අැතිරිලි ... ඔබට පහසු විදිහට ඉන්න පුළුවන්"


No comments:

Post a Comment