https://translationbooksinsinhala.blogspot.com/

Thursday, August 23, 2018

හඳුනානොගත් මළසිරුර (4 පරිච්ඡේදය) - Whose Body? BySayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර

4 පරිච්ඡේදය

"හොඳයි අපි බලමු, පාකර්" කෝපි කෝප්පය පසෙකින් තබමින් උදෑසන අාහාරයෙන් පසු සුපුරුදු පරිදි පයිප්පයද දල්වා ගනිමින් පීටර් සාමිවරයා කීය. "ඔබ නම් මොනවා හරි හොයාගන්න අැති ... නාන කාමරේ පළහිලව්ව විසඳා ගන්න තරම් එ්වා ප්‍රමාණවත් නොවන හැඩයි. මං ගියාට පස්සෙ ඔබට මොනවා හරි හොයාගන්න ලැබුණද?"

"නෑ ... නමුත් අද උදෑසන මං වහලයට නැගලා බැලුවා"

"ඔබ නම් යකාගෙ මිනිහෙක් ... මං දැනන් හිටියා ඔබ නියම මිනිහෙක් කියලා, පාකර්. මේ සිදුවීම් දෙකේ තිබෙන සමානකමුත් හොඳට ගියා. එකිනෙකාගෙ අදහස් හුවමාරු කරගනිමින් එකිනෙකාට උදව් කරගනිමින් සහයෝගයෙන් වැඩ කරන්න ලැබීම වාසනාවක්. මොනා හරි වැදගත් යමක් ඔබට හොයාගන්න ලැබුණද?"

"වැඩි යමක් නෑ. මං මොනවත් අඩි සළකුණු තිබෙනවාද කියා හොයා බැලුවා. නමුත් වැස්ස නිසා හැම සළකුණක්ම හේදී ගිහින්. කිසිම සළකුණක් තිබුණෙ නෑ. මේකත් හරියට රහස් පරීක්ෂක කතාවක් වගෙ. අපරාධය සිදුවෙන්න හරියටම පැයකට කලින් වහින්න පටන් ගන්න එක ... හරිම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ... නමුත් අැත්ත නොවැම්බරයේ ලන්ඩනය තුළ කාළගුණය මේ වගේ තමයි. මීට වඩා හොඳයි ඔබ නයගරාවලින් අඩි සළකුණු හොයාගන්න බලාපොරොත්තු වුණා නම්. කෝකටත් මං හොඳින් පරීක්ෂා කළා. හැම පඩිපෙලක්ම වහලයට සම්බන්ධවෙලා තියෙන්නෙ. එහි කම්බි ගොඩක් පැතලියි. ෂැෆ්ට්ස්බරි වීථිය දිගේ අැවිද යනවා වගේ ඔබට එ් මත පහසුවෙන් අැවිද යන්න පුළුවන් ... මට යම් සාක්ෂි ටිකක් හොයාගන්න ලැබුණා ... මළසිරුර එහි තිබුණා කියන්න .."

"එ් මොනාද?"

පාකර් ඔහුගේ සාක්කු පොත එළියට ගත්තේය. ඔහු එ් අතරින් සිහින් කෙඳි වැනි යමක් ගෙන මිතුරා අතේ තැබීය.

"මින් එකක් හොයාගත්තෙ තිප්ස් මහත්තයාගෙ නාන කාමරයෙ ජනේලයට හරියටම උඩින් තිබුණ පීල්ලෙන්. අනෙක් එක ඊට ඉහළින් තිබුණ තාප්පයෙහි කැඩී තිබුණු ගල් කැබැල්ලක් මත අැමිණී තිබුණා. අනික් එක චිමිනි පෙළ පිටුපස තිබී හමුවුණා. මේවා හමුවුණේ යකඩ කණු මත තිබිලා. ඔබට මේවා ගැන හිතෙන්නෙ මොකක්ද?"

පීටර් සාමිවරයා සිය කාචය ගෙන එ්වා හොඳින් පරීක්ෂා කරන්නට විය. 
"කදිමයි" ඔහුගෙ මුවින් පිටවිය. "කියලා වැඩක් නෑ. බන්ටර්, ඔබ මෙහි කාච අලුත් කළාද?" ඔහු සිය බුද්ධිමත් සහායකයාගෙන් විමසීය. 

"එහෙමයි ස්වාමීනි"

"හැමදේම මේකෙන් හොඳට පේනවා"

"ඉන් හැමදෙයක්ම හොඳින් පේනවාද කියන්න නම් හරියමට කියන්න බෑ ස්වාමීනී" බන්ටර් සැකයෙන් යුතුව පැවසීය. "මං අද මුද්‍රණය මෙහි ගෙන අාවා"

"එහෙමද" විම්සෙ අැසීය. "ඕහ් ... මෙන්න රත්තරන් චේන්පොට ගැන අපි ටයිම්ස් පත්තරේට දුන්න දැන්වීම පළකරලා. හරිම අගෙයි. ලියන්න ... නැතිනම් කතා කරන්න ... 110 පිකඩලියට ... හරිම අගෙයි. මෙහි තැපැල් අංකය ලියන්න තිබුණා නම් හොඳයි. කොහොම වුණත් ෆ්‍රැන්කර් ඔබ මිනිස්සු අතරෙ ගැවසෙන කෙනෙක්. ඔබට පුළුවන් වංචාකාරයින්ව අඳුනාගන්න. නේද?"

"නමුත් ඔබ හිතනවාද රත්තරන් චේන්පොට එහි දමා ගිය පුද්ගලයා එ්ක හොයාගෙන මෙහි එයි කියලා."

"මං එ් තරම් දුරට එ් ගැන හිතුවෙ නෑ." පීටර් සාමිවරයා වංශාධිපතිවරයෙක් සතු දැඩි අාචාරශීලීත්වයෙන් යුතුව පැවසුවේය. "එ් නිසයි මං මේක අලෙවි කරපු තැනැත්තාව හොයා ගන්න වැඩිපුර උනන්දුවක් දක්වන්නෙ. දැක්කද?" ඔහු අැඟිල්ලෙන් දැන්වීමෙහි යම් තැනක් පෙන්වීය. "එය ගොඩක් පරණ එකක් නෙමෙයි ... ඕහ් .. ස්තූතියි බන්ටර් ... දැන් මේක බලන්න පාකර් .. මේ බලන්න ඔබ කවුළු පියන් මතත් නාන බඳුනෙහි බඳ මතත් දුටු අැඟිලි සළකුණු තමයි මේ. මං එ්වා හොඳින් පරීක්ෂා කළා. නමුත් එ්ක හොයා ගැනීමේ සම්පූර්ණ ගෞරවයම ඔබටයි. හොඳයි අපි බලමු මේවා"

තිදෙනාම පින්තූර වෙත එබුණි. 

"මිනීමරුවා .... ඔහු තෙමිලා හිටිය නිසා වහලයට නගින විට මකුළුදැල් අතේ තැවරිලා. ඔහු මළසිරුර හොඳින් සෝදා පිස දමා තිබෙනවා. මේ කරුණාවන්ත හාදයා අපිට රාජකාරිය හරියටම කරන්න අවස්ථාවක් දීලා. බිම තිබුණ බොඳ වූ සළකුණට අනුව ඔහු ඉන්දීය රබර් බූට්ස් පැළඳ ඉඳ තිබෙනවා. එ් වගේම නාන බඳුනෙ බඳෙහි තිබිලා හොයාගත්ත මේ සළකුණු වලට අනුව ඔහුට අැඟිලි පහක් සහිත සාමාන්‍ය අතක් තිබෙන්නෙ. එ් වගේම ඔහු රබර් අත්වැසුම් පැළඳ ඉඳ තිබෙනවා. අපිව හොඳටම මෝඩයාට අන්දලා මේ මහත්මයා."

ඔහු පින්තූර පසෙකින් තැබීය. අනතුරුව ඔහු අතේ තිබූ සිහින් ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කරන්නට විය. හදිසියේම ඔහුගේ මුවින් සිවුරුම් හඬක් පිටවිය. 
"ඔබට මේකෙන් මුකුත් හොයාගන්න ලැබුණද පාකර්?" 

"මේවා රළු කපුවලින් සෑදූ රෙද්දක නූල් වගෙ. සමහර විට එය රෙද්දක් හෝ ලණුවක් වෙන්නත් පුළුවන්."

"ඔව්" පීටර් සාමිවරයා කීය. "එය අත්වැරදීමක් ... එ්ක අපේ අත් වැරදීමක් වෙන්නත් පුළුවන්. මට හිතාගන්න බෑ .. ඔබ හිතනවාද මේ සිහින් නූල් මනුස්සයයෙක්ව දරාගන්න තරම් ශක්තිමත් කියලා?"

ඔහු දෙනෙත් පුළුල් කරගෙන පයිප්පයෙන් දුම් පිටකරමින් නිශ්ශබ්දව කල්පනා කරන්නට විය. 

"උදෑසන ඔබ යොදා ගත් මොනා හරි වැඩක් තිබෙනවාද?" පාකර් විමසුවේය. 

"හොඳයි" පීටර් සාමිවරයා කීය. "මං හිතන්නෙ මං ඔයාගෙ වැඩේ ගැන හොයලා බැලුවොත් හොඳයි. අපි පාර්ක් ලේන් එක පැත්තෙ රවුමක් දාලා එමු. කියන්න බෑනෙ ඊයෙ රාත්‍රියෙදි සර් රූබියන් ලෙවි අාපහු නිදන කාමරයෙන් මතුවෙලාද දන්නෑනෙ"

* * *
"පෙමින්ග් මහත්මිය කරුණාකරලා මට පොරවනයක් දෙන්න පුළුවන්ද?" කුස්සියට අැතුළුවෙමින් බන්ටර් මහතා අැසීය. "මට අවසර ලැබිලා තිබෙනවා මේ ජනෙලයේ පහළ කොටස රෙද්දකින් වසා තබන්න. එ් වගේම ඊට කඩතුරාවක් එක් කරන්නත් ... හොඳයි ... හොඳයි ... මට දොස් පවරන්න එපා. කරුණාකරලා තේරුම් ගන්න. දැන් එහෙනම් වැඩේ පටන් ගනිමු"

සර් රූබියන් ලෙවි ගෙ කෝකියා බන්ටර් මහතාගේ අාචාරශීලීත්වයත් ඔහුගේ කඩිසරකමත් දෙස බලා දෙනෙත් අයා බලා සිටියේය. ඔහුට අවශ්‍යය දේ යුහුසුළුව සැපයීමට කටයුතු කරන ලදී. අැගේ මේ අමුත්තා මේසය මතින් කුඩයක් තැබීය. වතුර බෝතලයක්, සිල්වර් පැහැති පනාවක්, සපත්තු කුට්ටමක්, කුඩා ලිනෝලියම් රෝලක්, ස්වෝත්සාහයෙන් දියුණු වූ මේ ධානපතියා විසින් සිය පුතුට යවන ලද ලිපි මිටියක් යනාදියද තබන ලදී. අතෙහි එල්ලී තිබූ කුඩයද එහි තැබුවේය. අනතුරුව ඔහුගේ විශිෂ්ට කැමරාවෙන් සියල්ල ඡායාරූප ගත කරන්නට විය. ඉන්පසු කුස්සියේ රැස්ව සිටි පිරිස අතට එ්වා දී පත්තරයක් දිග හැරියේය. එයද ඡායාරූප ගතකළ ඔහු එය නවා පසෙකින් තබා මේසය හොඳින් පිරිසිදු කර සිය කබා අත නමා අත්වැස්ම් පැළඳ ගත්තේය. එවිමට වාගේ සර් රූබියන් ලෙවි ගේ අාවතේවකරු කුස්සි අම්මාවද තල්ලු කරමින් එතුනට පැමිණියේය. බන්ටර් මහතා ඔහුට අාචාර කොට අතැති බෝතලයේ අැබය ගැලෙව්වේය. 

"ඔබේ ස්වාමියා නම් අමුතු සත්ත්වයෙක් වගෙ. එහෙම නේද?" අාවතේවකරු කිසිදු ගරුසරුවක් නැතිව පැවසුවේය. 

"අැත්තෙන්ම ඔව්" බන්ටර් මහතා කීය. "මේ බලන්නකො" ඔහු මෙහෙකාරියට චාටු බසින් කතා කරන්නට විය. "මං මේක අල්ලාගෙන ඉද්දි ඔහු මෙයින් කුඩු ස්වල්පය බැඟින් අරගෙන අර බෝතලය මතත්, මෙන්න මේකෙ මුදිනෙත් හලන්න. මෙනවිය ඔබේ නම කුමක්ද? ප්‍රයිස් ... ඕහ් ... එ්ක ලස්සනයි. නමුත් මට හොඳටම විශ්වාසයි ඔබට තවත් නමක් අැති ... මේබල්? .... අහ්! එ්ක නම් කලාතුරකින් අහන්න ලැබෙන ඉතාම සුන්දර නමක්. ඔබ ඉතාම පරිස්සමින් වැඩ කරනවා, මේබල් මෙනවිය. ඔබට පෙනෙනවාද? ... මේ තමයි අැඟිලි සළකුණු ... මෙතන තුනක් තිබෙනවා. අන්න අතන දෙකක්. එ් තැන්වල හොඳින් කුඩු තවරන්න. නෑ අල්ලන්න නම් එපා ... ඔබ එය හොඳින් කරනවා. ඔය විදිහටම තියන්න මං එහි ඡායාරූප ටිකක් ගන්නකන්. ඊළඟට අර පනාව ගන්න. සමහර විට පෙමින්ග් මහත්මිය ඔබ තැමති වෙයි එය රළු කෙඳි මඟින් පරිස්සමට පිස දමන්න"

"රළු කෙඳි මඟින්, බන්ටර් මහත්මයා"

"ඔව් ඔබට පුළුවන් නම්, පෙමින්ග් මහත්මිය .. කරුණාකරලා ... එය මෙහි තබන්න. දැන් මේබල් මෙනවියනි අපි ඔබේ තවත් දස්කමක් බලමු .. ඔබ කැමති නම්. අපි මේ පාර පහන් දැලි ගෙන බලමු. ගොඩක් හොඳයි. මටවත් බෑ ඔබට තරම් මෙය හොඳින් කරන්න. දැන් මේ පුංචි පොත ගමු. අත්වැසුම් පැළඳ ඉන්න නිසා මං ම එ්ක අරගන්නම්. මං අපරාධයක් සිදු වූ තැන්වල තිබෙන දේවල් ගැන ගොඩක් පරිස්සම් වෙනවා, පෙමින්ග් මහත්මිය. මං කැමති නෑ කිසිම සාක්ෂියක් මගහැරගන්න. මේ මතත් සම්පූර්ණයෙන්ම කුඩු තවරන්න, මේබල් මෙනවියනි. දැන් මේ පැත්ෙතත් .. අන්න හරි. එහෙම තමයි එ්ක කරන්නෙ. ගොඩක් සළකුණු තිබෙනවා. කිසිවක් බොඳවෙලා නෑ. හැමදේම සැලසුම් සහගතයි. ඕහ් ... කරුණාකරලා ග්රේව්ස් මහත්මයා එ්ක අල්ලන්න නම් එපා .. එහෙම කළොත් එ්ක ලොකු වැරැද්දක් වෙන්න පුළුවන්."

"මේ දෙවල්වලින් ඔබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?" ග්රේව්ස් මහතා ඉතා සුපරික්ෂාකාරීව විමසන්නට විය. 

"ඕනෑම දෙයක්" බන්ටර් මහතා පිළිතුරු දුනි. එම වදන්වලින් පසු ග්රෙව්ස් මහතාගේ මානය හා අාත්ම විශ්වාසය බිඳ වැටුණි. "කරුණාකරලා ඔබට පුළුවන්ද මේ ලිනෝලියම් ටිකක් අල්ලාගන්න. පෙමින්ග් මහත්මිය මං මේක අල්ලාගෙන ඉන්නම් .. මේබල් මෙනවිය මේක ඉවරකරනකම් .. ඔව් ග්රේව්ස් මහත්මයා මේක නම් හරිම කරදරකාරී ජීවිතයක් තමයි. හැමදාම මුළු දවසම වැඩ කරන්න සිද්ධ වෙන එක ... රාත්‍රියේදී පවා .. උදෑසන තේ එක 6.30 වෙද්දි දෙන්න ඕනෙ. එතන ඉදන් රෑ 11 වෙනකන් දිගටම වැඩ. එ් මදිවට මේ අපරාධ විමර්ශන කටයුතුවලටත් උදව් කරන්න වෙලා. මේ පොහොසත් මිනිස්සුන්ගෙ විකාර වැඩ නම් අපිට හිතාගන්නවත් බෑ."

"අැත්තටම ඔබත් එහෙම හිතනවාද?" ග්රේව්ස් මහතා අැසීය. "හොඳයි දැන් මෙහි අහගෙන ඉන්න කවුරුවත් නෑනෙ .. මටත් මේ කරදරකාරී ජීවිතේ එපා වෙලා. බන්ටර් මහත්මයා කියපු දේවල් ගොඩක් හරි. හැම පැයකටම වරක් මොනා හරි සප්පායම් වෙන්න ගිහින් දෙන්න ඕනෙ. එ් මදිවට වංශවතුන් සහභාගී වන රාත්‍රී භෝජන සංග්‍රහ. ඔබේ මේ පින්තූරවල ඉන්න කාන්තාවන් නම් කිසිම කෙනෙක් රෑ වැඩට තියාගන්න බෑ. කිසිම සේවකයෙක් රාත්‍රියෙදි අල්ලාගන්න බෑ කිසිම වැඩකට. ඔබ කිව්වාට වඩා දේවල් මගෙ පැත්තෙන් නම් කියන්න පුළුවන්"

"මට කොහොමත් මේ යුදෙව්වන් රුස්සන්නෙ නෑ, බන්ටර් මහත්මයා. අැත්තෙන්ම ඔබ නම් කීර්තිමත් නාමයක් දිනා ගත්ත වංශවත් පවුලකටයි සේවය කරන්නෙ. නමුත් මගේ පැත්තෙන් බලද්දි ... තමන්ගෙ මහන්සියෙන් දියුණු වූ සර් රූබියන් වොල්ගා සහ එම මැතිණිය ... කොහෙත්ම මේ රටේ එතරම් ප්‍රශංසාවට ලක්වූවන් නෙමෙයි. ඔව් අැත්තෙන්ම ෆෝර්ඩ් මෙනවිය .. හැම්ෂයර් පළාතෙ සුප්‍රසිද්ධ ෆෝර්ඩ් පෙළපතින් පැවත එන්නියක්. කොහොම වුණත් ඔවුන් එකිනෙකා ගැන ගොඩක් හිතනවා."

"මම ඔබ සමඟ එකඟ වෙනවා, ග්රේව්ස් මහත්මයා. ඔහුගෙ ස්වාමි පදවිය ගැන නම් උදම් අනන්න යන්නෑ ... අැයි? ඔව් මිත්‍රයා ... අැත්ත වශයෙන්ම එ්ක නම් පා සළකුණක්. ලිනෝලියම් මත එය හොඳට පේනවා. හොඳ යුදෙව්වෙක් කියන්නෙ හොඳ මනුස්සයෙක්. මං එහෙමයි නිතරම කියන්නෙ. ඔවුන් කාලයට අනුව වැඩ බෙදාගෙන තිබෙන අාකාරයත් පුරුදු ගැන තිබෙන උනන්දුවත් ඔවුන්ව හඳුනාගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔවුන්ට හරිම චාම් දිවිපෙවෙතක් තියෙන්නෙ. දැන් බලමු සර් රූබියන් පවා .. කොතරම් පොහොසතෙක් වුණත් ඔහුත් එ් විදිහමයි නේද?"

"ඔබ කිව්වා හරියටම හරි" කෝකියා කීය. "ඔහුත් අාර්යාවත් අාහාරයට ගන්න අර අැට ජාතිමයි තරුණ රේචල් මෙනවියටත් දෙන්නෙ .. මං කිව්වෙ එ් රාත්‍රී අාහාරය නොවුනානම් පමණයි ... සමහර විට එ්ක ඔවුන්ව එකාවන්ව තියන්න හේතු වෙනවා අැති. මගේ හැකියාවෙන්වත් දැනුමෙන්වත් මෙහි කරන්න දෙයක් නෑ, බන්ටර් මහත්මයා"

බන්ටර් මහතා කුඩයේ මිට ගෙන තම එකතුවට එක් කරගත්තේය. අනතුරුව තම සහායක මෙහෙකාරියගේ උදව්වෙන් ජනෙල් රෙද්ද සකසන්නට විය. 

"විශිෂ්ටයි" ඔහු කීය. "මං දැන් මේ බ්ලැන්කෙට්ටුව මේසය මත එලන්නම්. අනිත් එක තුවා රදවනය හෝ එ් වගේ වෙනත් දෙයක් තියෙනවා නම් එල්ලා පසුබිම සකසා ගන්නම් ... ඔබ ගොඩක් කරුණාවන්තයි පෙමින්ග් මහත්මිය .. අහ්! මං ප්‍රාර්ථනා කරනවා අද රාත්‍රියේදී මගේ ස්වාමියාට මගේ සේවය අවශ්‍යය නොවෙන්න කියලා. ගොඩක් වෙලාවට මං පාන්දර 3,4 වෙනකන් අැහැරගෙන ඉන්නවා. එ් වගේම උදේ පාන්දරින්ම ඔහුව අැහැරවන්නත් අවදි වෙන්න ඕනෙ. දන්නැද්ද ඉතින් ඔහුගෙ රහස් පරීක්ෂක වැඩවලට නිතරම වාගෙ එහෙ මෙහෙ යනවනෙ. ඔහු නම් රටේ කෙළවරට වුණත් එ් වෙනුවෙන් යයි. ඉතින් ඔහුගෙ අැඳුම්වලයි සපත්තුවලයි මඩ තවරාගෙන එනවා."

"මට විශ්වාසයි එ්ක ඔබේ සේවයට අවනම්බුවක්, බන්ටර් මහත්මයා" පෙමින්ග් මහත්මිය කීවාය. "හරිම සවුත්තුයි.. මං එහෙමයි එ් ගැන කියන්නෙ. මගේ අදහසට අනුව හොඳ මහත්මයෙකුට පොලීසියෙ වැඩ හරියන්නෙ නෑ ... වංශාධිපතියෙකුට වුණත්"

"හැමදේම කරදරයක්" බන්ටර් මහතා කීය. තම ස්වාමියා ගැන අැති භක්තිය සඟවා ගනිමින් ඔහු කියන්නට විය. "සපත්තු විසි කර දමනවා මුල්ලකට. රෙදි පොළොව මත ඔහේ විසිකරනවා. ඔවුන් කිව්වා වගේ ..."

"හොඳ වෙලාවට මේ මනුස්සයො උපතින්ම වංශාධිපතියො වෙලා ඉපදුණේ." ග්රේව්ස් මහතා පැවසුවේය. "දැන් බලන්න සර් රූබියන් ... ඔහු නම් කවදාවත් ඔහුගෙ හොඳ පුරුදු අත්හැර ගත්තෙ නෑ"

"ඔහු හොඳි් අැඳුම් නවා තබනවා. අඳින කාමරයෙන් සපත්තු පිළිවෙළට තබනවා. ඉතින් මෙෙහකරුවන්ට හරිම පහසුයි."

"පෙරේදා රාත්‍රියේදී නම් ඔහුට එ්වා අමතක වෙන්න අැති මගෙ හිතේ"

"ඔව් අැඳුම් ... නමුත් සපත්තු නෙමෙයි. සර් රූබියන් හැමදෙයක්ම ගැනම නිතරම සැළකිලිමත්"

"අැත්තෙන්ම ඔව් ... පව් අසරණ මහත්මයා." කෝකියා පවසන්නට විය. "එතුමා එක්ක වැඩ කරන එක ඕනෑම කෙනෙකුට පහසුයි. නමුත් මේ මිනිස්සු දැන් එතුමා ගැන හරිම නරක විදිහටයි කතා කරන්නෙ. එතුමා යම් වැරදි වැඩකට සම්බන්ධ වෙලා වගෙ .. හරිම දරුණු දේවල් තමයි එතුමා ගැන කියන්නෙ. මං නම් කවදාවත්ම එ්වා විශ්වාස කරන්නෑ, බන්ටර් මහත්මයා. මට එ් ගැන දිව්රලා කියන්න පුළුවන්."

"අහ් ..." සිය චාප ලාම්පුව හරිගස්සවමින් එය විදුලි අාලෝකයට සම්බන්ධ කරන ගමන් බන්ටර් කීය. "එ් නිසා තමයි ඔවුන් අපට ගෙවන්නේ"

* * * 
"අඩි පහයි අඟල් දහයයි" පීටර් සාමිවරයා කීය. "ඊට වඩා අඟලක්වත් වැඩි නෑ." වංශාධිපතියා සැකයෙන් මෙන් අැඳ අැතිරිලි තව දුරටත් පිරික්සන්නට විය. නැවතත් මේ රහස් පරීක්ෂකයා වැඩි පරිස්සමට මෙන්  සිය අත්පොත ගෙන සටහන් පිරික්සුවේය. පාකර් විසින් ද එම ගණන් සිය අත්පොතෙහි සටහන් කරගන්නට විය. 

"මං හිතනවා" ඔහු කියන්නට වූවේය. "අඩි හයයි අඟල් දෙකේ මනුස්සයා තමයි ගිහින් තියෙන්නෙ. අඩි පහයි අඟල් දහයෙ මනුස්සයා මෙහි ගුලි වෙලා ඉඳලා තියෙනවා."

"ඔබට කොහේ හරි ලේ තිබිලා හොයා ගන්න ලැබුණද, පාකර්?" ඔහු සැකයෙන් යුතුව සිය සගයාගෙන් විමසුවේය.  

"දැනට නම් නෑ ... අැයි?" පාකර් පිළිතුරු දුනි. 

"මෙය යම් සැලසුමකට අනුව හිතා මතා කළ ඉතා දරුණු දෙයක්. එය මේ පරීක්ෂණවලින් හිතාගන්න පුළුවන්. මේක යක්ෂ වැඩක්." පීටර් සාමිවරයා කීවේය. "ඔබත් එ් වගේ යකෙක් තමයි. මං දන්නැද්ද. මාත් ඔබේ සහයට ඉන්නවා. අපි මොළේ වෙහෙසලා මේ රසවත් පොලිස් පරීක්ෂණය විසඳා ගමු. ඔබේ උද්යෝගය නම් නැති වෙලා වගෙ."

"හොඳයි තීරණ එකින් එකට පැන පැන යන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි"

"පනිනවා? අඩුම තරමෙ ඔබ මේ සිද්ධාන්තයන් මත දණගාගෙන යන්නෙවත් නෑ. මට හොඳටම විශ්වාසයි. මොකුත්ම සාක්ෂියක් පැහැදිලිව හොයා ගන්න බැරි වුණත් ඔබ කොහොම හරි හොර බළලාව අල්ලා ගනියි."

"අැත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද. මට නම් හිතාගන්නවත් බෑ"

"ඔව් ඔබ හරි" පීටර් සාමිවරයා කීය. ඔහු සිය තනි කාචය අැසට තබා ගත්තේය. අනතුරුව කොට්ටය මතට නැමී ඉව කරන්නට විය. 

"මට කුඩා අඬුවක් දෙන්න" ඔහු පාකර්ගෙන් ඉල්ලුවේය. "දෙවියන්ගෙ නාමෙට කිසිම මනුස්සයෙකුගෙන් මේ වගේ ගඳක් නම් එන්න විදිහක් නෑ ... මකරෙක් ලැගලා වගේ" යි කියමින් ඔහු එහි රැඳී තිබූ නොපැහැදිලි ද්‍රව්‍යයන් එකතු කරගන්නට විය. 

"එ් මොකක්ද?" පාකර් විමසුවේය.

"එ් කෙස් ගසක්" විම්සේ ඉතා රළු ස්වරයෙන් පැවසුවේය. ඔහුගේ අැසත් මොළයත් මේ වන විට හොඳින් ක්‍රියාකාරීව වෙහෙසට පත්වෙමින් තිබුණි. "හොඳයි දැන් ගිහින් ලෙවි මහත්තයාගේ තොප්පිය පරීක්ෂා කරමු. අපි යමුද?"

"අර අමුතු නමක් තියෙන හාදයාට මං කතා කළා කියලා කියන්න පුළුවන්ද?"

ග්රේව්ස් මහතාට කළ කැඳවීම අනුව ඔහු පැමිණෙන විට පීටර් සාමිවරයා අැඳුම් කාමරයේ හිස්වැසුම් එල්ලා තබන තැන බිම දණගසා ගෙන යමක් පරික්ෂා කරමිනි සිටියේය. 

"අහ් ... මේ අැවිත් ඉන්නෙ" වංශාධිපතියා උද්යෝගයෙන් යුතුව පැවසුවේය. "දැන් ග්රේව්ස් අපි පොඩි තරගයක් තියමු. මෙතැනින් උස් තොප්පි තුනක් තෝරා ගනිමු. මේ සේරම තොප්පි සර් රූබියන් ලෙවිගෙ කියන්න ඔබට හොඳටම විශ්වාසද? ... එහෙමද? හොඳයි. දැන් අපි අනුමාන කරලා බලමු මොන තොප්පියද ඔහු පළදින්න අැත්තෙ අතුරුදහන් වූ රාත්‍රියේදී ... මං හරි එක තෝරා ගත්තොත් මම දිනුම් ... ඔබ එය නිවැරදිව තෝරා ගත්තොත් ඔබ දිනුම්. එහෙනම් දැන් පටන් ගමු. හොඳයි. කොහොම වුණත් ඔබ නම් එ්ක හරියටම දන්නවා අැති. මට විශ්වාසයි එ් ගැන."

"කරුණාවන්ත වංශාධිපතිතුමනි, ඔබතුමාට දැනගන්න ඕන කරලා තියෙන්නෙ සඳුදා රාත්‍රියේදී සර් රූබියන් ලෙවි, මගෙ ස්වාමියා පැළඳ සිටි තොප්පිය නේද?"

"නෑ. එ්ත් ඔබ යම් ප්‍රමාණයකට තේරුම් අරන් තියෙනවා." පීටර් සාමිවරයා පැවස්වේය. "මට විශ්වාසයි ඔබට එ්ක හරියටම මට පෙන්වන්න පුළුවන්. නමුත් දැන්ම එ් ගැන මට කියන්න එපා. මං අනුමාන කරන්නයි යන්නෙ."

"ඔව් අැත්තෙන්ම මං එ්ක දන්නවා වංශාධිපතිතුමනි" ග්රේව්ස් අමනාපය මුසු ස්වරයෙන් කීය. 

"හොඳයි." පීටර් සාමිවරයා කීය. "ඔහු රෑ කෑමට රිට්ස් එකට යන විට උස තොප්පියක් පැළඳ සිටියා. මෙතන එ් වර්ගෙ තොප්පි තුනක් තියෙනවා. ඔන්න දැන් මං එතනින් එක තොප්පියක් තෝරා ගන්නයි යන්නෙ. මේක හරිම සිත් අැදගන්නා සුළු සෙල්ලමක්. ඔන්න තෝරා ගත්තා. හරිද?" ඔහු ජනේලයට අසලින් තිබූ තොප්පියක් තෝරා ගනිමින් කීවේය. "මම හරි නම් මට තමයි තෑග්ග. හරිද?"

"ඔබතුමා අහපු තොප්පිය නම් මේක තමයි" ග්රේව්ස් කැළඹීමෙන් යුතුව කීවේය. 

"ස්තූතියි" පීටර් සාමිවරයා පැවසුවේය. "එච්චරයි මට දැනගන්න ඕන කරලා තිබුණෙ. දැන් ගිහින් බන්ටර්ට උඩට එන්න කියන්න පුළුවන්ද?"

බන්ටර් මහතා ඉතා කඩිමුඩියේ ඉහළට නැග අාවේය. 

"ඔබ අාවාද බන්ටර්?" පීටර් සාමිවරයා කීවේය. "මේ බලන්න ..."

"මං අාවා ස්වාමීනී" බන්ටර් මහතා ඉතා ගෞරවයෙන් යුතුව පැවසුවේය. "නමුත් මට කමා කරන්න ස්වාමීනී. මේ වෙලාවෙ මං පහළ ඉන්න ඕනෙ. නැත්නම් අර තරුණ කාන්තාවන් සාක්ෂි සියල්ලම අතපතගාලා විනාශ කරලා දමයි, මගෙ ස්වාමීනී"

"මට ඔබේ සේවය අත්‍යවශයයි මේ වෙලාවෙ" පීටර් සාමිවරයා කීය. "පාකර් මහත්මයා සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු නැති කරගෙන. මං ඔහුත් සමඟ මේ වාද කරමිනුයි ඉන්නෙ. එ් මදිවට අර ග්රේව්ස්. ඔහු හොඳටම කලබල වෙලා. මට ඔබගෙන් දැනගන්න ඕනෙ කරලා තියෙන්නෙ අැඟිලි සළකුණු පිළිබඳ තත්ත්වෙ. මට එ් ගැන දැන ගන්නකම් ඉස්පාසුවක් නෑ, තවත් මාව අපහසුතාවයට පත් කරන්නෙපා, බන්ටර්"

"හොඳමයි මගෙ ස්වාමීනි. නමුත් මං තාම එ්වා ඡායාරූපගතකරලා ඉවර නැහැ. කොහොම වුණත් එ්වා හොඳ තත්ත්වයෙ තිබෙන බව කියන්න පුළුවන්. මේසය මතින් ඉවතට විසිවී ගොස් තිබී සොයා ගත් කුඩා පොත මත එක් අතක අැඟිලි සලකුණු හොඳින් දැකගන්න පුළුවන්. දකුණු අතේ මාපට අැඟිල්ලෙහි කැළලක් වූ බව ඉන් ඉතා හොඳින් නිරීක්ෂණය වෙනවා. පනාව මතත් අර කිවූ පරිදිම අැඟිලි සලකුණු තිබෙනවා. කුඩයෙහිත්, දත් මදින්න වතුර ගත්ත වීදුරුවෙහිත් සපත්තු වලත් දෙඅාකාරයක අැඟිලි සලකුණු තිබෙනවා. මහපට අැඟිල්ලෙහි වූ කැළල එ්වායින් තවත් තහවුරු වෙනවා. එ් මත හොඳින් කුඩු තවරා මා පරීක්ෂා කළා. එම සළකුණු සර් රූබියන් ලෙවි ගෙ නම් රබර් අත්වැසුම් පාවිච්චි කර තිබුණෙ එතුමා හෝ වෙනත් අයෙකු විය යුතුයි. ඔබතුමාට එ්වා හොඳින් බලාගන්න පුළුවන් විදිහට ඉතා සුපරික්ෂාකාරීව මං එ්වා ඡායාරූපගත කළා. මේසය මත තබා අා කළාලය මතත් යමක් දැකගන්න පුළුවන්. සර් රූබියන් ගේ සපත්තුවේ ප්‍රමාණයෙන් දැක්වෙනවාට වඩා කුඩා ප්‍රමාණයේ නිරුවත් පා සටහනක් එහි දක්නට ලැබෙනවා. එය අඟල් දහයකට වඩා නම් විශාල විය නොහැකියි ... සමාවෙන්න මං හිතන්නෙ එ්ක එ් තරම් වැදගත් නොවෙන්න පුළුවන් ..."

පීටර් සාමිවරයාගේ මුවෙහි යම් දීප්තිමත් සිනහවක් අැඳී ගියේය. "අත්වැරදීමක්" ඔහු කෑගැසීය. "අත්වැරදීමක් .. පුංචි දෙයක් ... නමුත් එ්ක හොඳටම ප්‍රමාණවත්. කළාලය කවදාද අවසානෙට හෝදලා තියෙන්නෙ, බන්ටර්,"

"සඳුදා උදෑසන, මගෙ ස්වාමීනි. මෙහෙකාරිය විසින් එය සිදු කර තිබෙනවා. අැය එ් බව මා සමඟ කිව්වා. මං අැගෙන් එ් ගැන අසමිනුයි හිටියෙ. අනෙකුත් මෙහෙකරුවන් ..."

සාමිවරයා එම වදන් ගැන තවදුරටත් තැකීමක් කළේ නැත. "මං කිව්වෙ නැද්ද, පාකර්. අඩි පහයි අඟල් දහයයි. ඊට වඩා අඟලක්වත් වැඩි නෑ. එ් වගේම ඔහු පනාව පාවිච්චි කරලා නෑ. අනර්ඝයි. නමුත් ඔහු උස් තොප්පිය පාවිච්චි කරලා තියෙනවා. ඔබ දන්නවානෙ පාකර් මේ මහත්මයාට එදා රෑ වැස්සෙ තොප්පියක් නැතුව යන්න බෑ කියලා. බලමු ඔබට මේකෙන් මොනවාද හොයාගන්න පුළුවන් කියලා. හැම භාණ්ඩයකම අත් දෙකක සළකුණු තිබුණා. නමුත් පොතෙත් පනාවෙත් තිබුණෙ එක් අයෙකුගේ අැඟිලි සළකුණු පමණයි. කළාලය මත අඩි සළකුණු දෙවර්ගයක් තිබෙනවා. එ් වගේම වර්ග දෙකක කෙස් ගස් තොප්පියෙන් හම්බ වුණා."

ඔහු තොප්පිය ගෙන අාලෝකයට අල්ලමින් කුඩා අඬුව අාධාරයෙන් ඉන් සාක්ෂි එකතු කරගන්නට විය. 

"එ් ගැන හිතන්න පාකර්. පනාව ගැන හිතන්න. තොප්පිය අමතක කරන්න. හැම තැනම තිබුණු ඔහුගෙ අැඟිලි සළකුණු ගැන හිතන්න. අපරික්ෂාකාරීව ඔහු කළාලය මත ඉතිරි කර ගිය අඩි සළකුණ ගැන හිතන්න"

"... මෙන්න එ්වා තියෙනවා. කළු කෙස් සහ දුඹුරු කෙස් ... වටකුරු උස් තොප්පියෙත් පන් තොප්පියෙත් දෙකෙහිම ... පෙරදින රාත්‍රියේ පැළඳ සිටි උස් තොප්පියෙහි එ් දෙවර්ගයේම කෙස් තිබෙනවා. එ්කෙන් කියැවෙන්නෙ අපි හරි පාරට වැටිලයි ඉන්නෙ. මේ කොට්ටය මතත් රතට හුරු දුඹුරු කෙස් ගසක් තිබෙනවා. මෙන්න මේ කොට්ටය මත, පාකර්. කොට්ටය තිබෙන්නෙත් වෙනදා තබන ස්ථානයේ නෙමෙයි ... මට අැඩෙන්න වගෙ, පාකර්"

"ඔබ කියන්න හදන්නෙ ..." රහස් පරීක්ෂකවරයා සෙමින් අැසීය. 

"මම කියන්න හැදුවෙ ..." පීටර් සාමිවරයා හඬ අවදි කළේය. පෙරදා රාත්‍රියේදී කෝකියා දුටුව පරිදි එළිපත්ත මත සිටියෙ සර් රූබියන් ලෙවි නෙමෙයි. එ් වෙනත් අයෙක්. ඔහු ලෙවි මහතාගේ අැඳුම් අැඳ සිටියා. ලෙවි මහතාගේ දොරේ යතුරත් ඔහු සතුව තිබුණා. ඕහ් ... ඔහු නම් නිර්භීත උපායශීලී යක්ෂයෙක්, පාකර්. ඔහු ලෙවි මහතාගේ සපත්තුයි පැළඳ සිට අැත්තේ. අැඟට සරිලන විදිහට ලෙවි මහතාගේ අැඳුම්මත නූලක් යවා තිබෙනවා. ඔහු නිතරම රබර් අත් වැසුම් පැළඳ තිබෙනවා. පෙරදා රාත්‍රියේදී ලෙවි මහතා මෙහි නිදා සිටි බව අපට එ්ත්තු ගැන්වීමට අවශ්‍ය හැමදේම ඔහු හොඳින් සිදු කර තිබෙනවා. අැත්තෙන්ම ඔහු එහෙම කළා. එ්කෙන්නම් ඔහු දිනුම්. ඔහු ඉහළ මාලයට ගොස් අැඳුම් ගලවා දත් මැද පිරිසිදු කොට තිබෙනවා. නමුත් ඔහු පනාව පාවිච්චි කර නැහැ. මොකද ඔහුගෙ රතු හිසකෙස් වැටෙයි කියන බයට. ලෙවි මහතා අැඳුම් සහ සපත්තු වලට මොනා කරනවා අැති දැයි ඔහු කල්පනා කර තිබෙනවා. එක උපකල්පනයක් නම් හරි .... අනෙක වැරදියි. ඔහු කටයුතු කර අැති අාකාරයෙන් එය පැහැදිලියි. ඉන් අනතුරුව ඔහු ලෙවි මහතා නිදා සිටි බව අැඟවීමට අැඳෙහි වැතිර තිබෙනවා. අැතැම් විට උදෑසන නැතිනම් හැමෝටම තදින් නින්ද යන පාන්දර දෙකත් තුනත් අතර කාලයේදී නැගිට ඔහු බෑගයේ දමාගෙන පැමිණි සිය අැඳුම් අැඳගෙන මහත් සැළකිල්ලෙන් පහළට බැස තිබෙනවා. කවුරු හෝ අවදි වී ඔහුව දුටුවා නම් ඔහුගේ සැලසුම් සියල්ලම වතුරේ. නමුත් ඔහු නිර්භීත අයෙක්. ඔහු අවස්ථාෙවන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔහු දැන සිටියා එම වෙලාවට කවුරුවත් අවදි නොවන බව. ඔහු හිතුව විදිහ හරි. කවුරුවත්ම අවදි වුණේ නැහැ. ඊට පස්සේ ඔහු මාවතට මුහුණලා තිබෙන දොරටුව වෙත පැමිණ තමා අැතුල්වීමට පාවිච්චි කළ යතුරෙන්ම දොර විවෘත කළා. අනතුරුව ටික වේලාවක් නිශ්ශබ්දව බලා සිටියා .... වීථි සංචාරයේ නිරත පොලිස් නිලධාරියාගේ පියවර හඬ නෑසෙන තුරු. ඉන් අනතුරුව ඔහු හෙමින් ඉවතට අැදුණා. එ් වගේම දොර සෙමින් අැද වසා තමා සතු යතුරෙන් අගුලු දැම්මා. ඔහුගේ රබර් අඩි සහිත සපත්තු මතින් කඩිසරව ඉවතට අැදී ගියා. රබර් අඩි සහිත සපත්තු පැළඳීමට තරම් ඔහු මේ අපරාධය වඩාත් සැලසුම් සහගතව සිදු කර තිබෙනවා. මිනිත්තු කිහිපයකින් ඔහු හයිඩ් පිටිය කෙළවරේ. ඊට පස්සෙ ...."

ඔහු කතාව මදකට නතර කළේය. නැවතත් කතාව කියන්නට පටන් ගත්තේය. 

"ඔහු හැමදේම පරදුවට තබා මේ සියල්ල හොඳින් සිදු කළා. හරියට සර් රූබියන් ලෙවි මහතා සමඟ කළ පුංචි කැත විහිළුවක් වගෙ. නැතිනම් මේ තඹවන් කෙස් අැති මිනිසා මිනීමැරීමට උපන් හපනෙක්."

"අනේ..." රහස් පරීක්ෂකවරයාගේ මුවින් පිට වූයේය. "ඔබ නාට්‍යෝචිත විදිහට එ්ක ඉදිරිපත් කළා"

පීටර් සාමිවරයා ඉතා වෙහෙසට පත් අයුරින් හිස පිරිමදින්නට විය. "මගේ මිත්‍රයා" ඔහු ඉතා හැඟුම්බරව මිමිණුවේය. "ඔබ හිතන්නෙ මං ළදරුවෙක් කියලාද? නැතිනම් වාචාලකමට කියවනවා කියලාද?"

ඔහු ගීයක් මුමුණන්නට විය. "ඔබට එහෙම හිතෙන එක සාධාරණයි, පාකර්. අසරණ වයසක හාදයා ... මෙහෙමත් විහිළුවක් ... ඔහුට මෙයින් කොහෙත්ම වේදනාවක් නැතුව අැති. මේක ගොඩක් විනෝදජනකයි. ඔබ දන්නවාද පාකර් ... මේ හැමදේකටම පස්සේ මං කීයටවත් මේ වැඩේ අතාරින්නෙ නම් නෑ"

"මොකක්ද මගෙ වැඩේද? නැතිනම් ඔයාගෙ වැඩේද?"

"මං කිව්වෙ දෙකම ගැන? පාකර්. අපි දැන් ගෙදර ගිහින් දහවල් අාහාරය අරගෙන පොඩි විවේකයක් ගනිමුද?"

"ඔබට ඕනෙ නම් එහෙම කරන්න පුළුවන්" රහස් පරීක්ෂකවරයා පිළිතුරු දුනි. "නමුත් ඔබ දන්නවා එදාවේල හොයාගන්නයි මං මේ වැඩ කරන්නෙ"

"ඕහ් ... එහෙම කියලා ඔබට මගාරින්න බෑ." පීටර් සාමිවරයා කීවේය. "හොඳයි අපි එහෙනම් වෙනත් දෙයක් ගැන කතා කරමු. මගේ පරීක්ෂණය ගැන ඔබ මොකක්ද කරන්න ඉන්නෙ?"

"මට පුළුවන් හැමදේම කරනවා" පාකර් කීවේය. "මට මේ සග්ගෙ වැඩ ගැන නම් කිසිම විශ්වාසයක් නෑ. ක්වීන් කැරොලයින් මන්දිරයෙ කුලී නිවැසියන් ගැන හැම විස්තරයක්ම මං දන්නවා. මං ඔවුන්ගෙ නිවෙස් වල පරීක්ෂා කළ හැකි සෑම තැනක්ම පිරික්සුවා. වහලවල් පවා. එ් වගේම මං ඔවුන් එක්ක කතා කරන ගමන් හදිසියේම මළසිරුර, නාසික උපැස් යුවල යන වදන භාවිතා කර ඊට ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි නිරීක්ෂණය කළා. හරියට අර නූතන මනෝ විද්‍යාඥයා කරනවා වගේ ... මොකක්ද ඔහුගෙ නම..."

"ඔබ එහෙම කළා ... ඔබ එහෙම කළාද?" පීටර් සාමිවරයා සිනාසෙමින් අැසුවේය. "හොඳයි අපි පරීක්ෂණ මාරු කර ගනිමු. මං දන්නවා ඔබ මේ ගැන දැන් උදාසීන වෙලා. එ්ත් මට නම් මේකෙන් හොඳ විනෝදයක් ලබන්න පුළුවන්. 

පාකර්ගේ මුහුණ අඳුරු විය. "හොඳයි" ඔහු කීවේය. "මාත් පුළුවන් තරම් මේ ගැන හොයා බැලුවා. ඔබ පොඩි වැඩවලටත් අතගහන්නැත්නම් කවදාවත් වෘත්තීමය රහස් පරීක්ෂකයෙක් වෙන්න බැරි වෙයි, විම්සෙ ... හොඳයි දවල් අාහාරය කොහොමද?"

"මං ඔබට අාරාධනා කළා" පීටර් සාමිවරයා විනීතව පැවසුවේය. "මං හිතන්නෙ එ්කෙ වෙනසක් කළොත් හොඳයි. දවල් අාහාරයට ක්ලබ් එක පැත්තෙ යමු. මේ කරදරත් එක්ක හැමෝටම එ්ක පහසුයි .. නේද බන්ටර්"

"එහෙමයි ස්වාමීනි"

"වැඩ ටික ඉවර වුණ ගමන්ම බඩු ටික ලෑස්ති කරගන්න ... ක්ලබ් එකේදී ඔබේ සේවය මම බලාපොරොත්තු වෙනවා."

"තව පැය දෙකක පමණ කාලයක් මට මෙහි වැඩ කරන්න සිදුවේවි, මගෙ ස්වාමීනි. මිනිත්තු 30කින් නම් කොහොමටවත් ඉවර කරන්න බැහැ. හරියටම වෙලාවක් කියන්න අමාරුයි මට."

"පේනවාද පාකර් මගෙ මනුස්සයාව මං කොහොමද හදාගෙන ඉන්නෙ කියලා. හොඳයි එහෙනම් මං ම මගේ වැඩ ටික කරගන්නම්. මං යනවා එහෙනම්."

පහළට බහින ගමන් ඔහු සිවුරුහන් බාන්නට විය. 

අවංකවම සිය රාජකාරිය වෙනුවෙන් කැපවූ මහතාගේ මුවින් කෙඳිරියක් පිටවිය. හැම් මිශ්‍ර සැන්විච් එකක් සහ මත්පැන් බෝතලයක් ළඟට ගෙන තවදුරටත් සර් රූබියන් ලෙවිගේ පළහිලව්ව ගැන අවධානය යොමු කරන්නට විය. 

වින්ඩ්හැම් අාපනශාලාවේදී පීටර් සාමිවරයා හා ගරු ෆ්‍රෙඩී අර්බුත්නොට් මහත්වරු එකිනෙකා මුණගැසුණි. 

"හුඟ කාලෙකින්" ගරු ෆ්‍රෙඩී මහතා පැවසුවේය. "කොහොමද වැඩ කටයුතු එහෙම?"

"විශේෂ යමක් නැහැ." පීටර් සාමිවරයා උදාසීනව පැවසුවේය. 

"උකුවටද දියර වශයෙන්ද, සර්" වේටර් ගරු ෆ්‍රෙඩී මහතා ගෙන් විමසුවේය. 

"ඔබ මොනවාටද කැමති, විම්සේ?" ගෞරවනීය මහතා තේරීම සිය අමුත්තාට භාර කළේය. 

"හොඳයි. උකු නොවන තරමට හැන්දට ගන්න ලේසියි." පීටර් සාමිවරයා පැවසීය. 

"උකු නාෙවන එ්වා" ගරු ෆ්‍රෙඩී මහතා පැවසීය. 

"ඉතා අනර්ඝ තේරීමක්" වේටර් එකඟ විය. "ඉතාමත් විශිෂ්ටයි මහත්මයා"

වේටර්වරයා ඉවත්ව යන තුරු ඔවුහු සාකච්ඡා කිරීමට නොඉවසිල්ලෙන් සිටියහ. ඔහු ඉවත්ව ගිය සැණින්, 
"මට අාරංචි වුණා ඔබේ අාණ්ඩුකාර පදවිය ගැන ... මට කනගාටුයි." පීටර් සාමිවරයා පැවසුවේය. 

"එ්කට කමක් නෑ පරණ මිත්‍රයා." ගරු ෆ්‍රෙඩී මහතා පැවසුවේය. "ඔවුන් කිව්වා තවදුරටත් එය දීර්ඝ කරන්න බැරි බව. මොකක්ද? ඕහ් ... මෙහි පානය කරන්න තරම් වැඩි යමක් හොයාගන්න බැරිවෙයි." ඔහු කනගාටුවෙන් පැවසුවේය. 

මදකට කතාව නතර කර වටපිට බැලූ පීටර් සාමිවරයා "මොකද වෙනසක් කරන්න බැරි වෙයිද?" යි අැසීය.

"වැඩක් නෑ" ගරු ෆ්‍රෙඩී මහතා පැවසුවේය. ඔහු කනගාටුවට පත්ව සිටියේය. 

"මට මොනා හරි යමක් කරන්න පුළුවන්ද?" පීටර් සාමිවරයා අැසීය. 

"ඕහ් ... නෑ ... කමක් නෑ .. ස්තූතියි. ඔබ ගොඩක් කරුණාවන්තයි. දැන් එ්කට කාලෙ හරි."

"මේක නරකමත් නෑ ..." පීටර් සාමිවරයා කීවේය. 

"මං ඕනෙ තරම් මේවා කාලා තියෙනවා." ඔහුගේ මිතුරා පැවසුවේය. 

"අරව හොඳයිද දන්නෑ?" පීටර් සාමිවරයා විමසුවේය. "වේටර් ... මගෙ වීදුරුවෙ පොඩි කිරල අැබයක් තිබෙනවා."

"කිරල අැබයක්?" ගරු ෆ්‍රෙඩී මහතා කෙඳිරීය. "වේටර් ඔබට එය අැහුණද? ඔබට ගෙවන්නේ මේ වගෙ අපරික්ෂාකාරීව වැඩ කරනවාටද? ... මොකක්ද ඔබ කියමින් හිටියෙ? අාර්ජන්ටියානුවා ගැනද? යකාට පලයන් නාකි ලෙවි හාදයා. වෙළඳපොළේ වැටිලා හිටිය අඩියෙන් ගොඩ එන්න කරපු බොරුවක්"

"ඔබ එහෙම කියන එක හරිද?" පීටර් සාමිවරයා අැසීය. "ඔබ හිතන විදිහට එ් වයසක හාදයාට මොනවා වෙන්න අැතිද?"

"මං දන්නෙ නැති එකම හොඳයි." ගරු ෆ්‍රෙඩී කියන්නට විය. "ඔහුගෙ විකුණුම් ජාවාරම්කරුවන් ඔලු ගෙඩිය පලන්න අැති. මං එහෙමයි හිතන්නෙ"

"සමහර විට ඔහුම කොහෙ හරි ගියාද දන්නෑ." පීටර් සාමිවරයා සිය අදහස ඉදිරිපත් කළේය. "දෙබිඩි ජීවිතයක් ... ඔබ දන්නවානෙ ... සමහර නගරවාසීන් මේ වගේ නොසැළකිලිමත් වැඩ කරනවා."

"ඕහ් ... නෑ" ගරු ෆ්‍රෙඩී මහතා පැවසුවේය. ඔහු කෝපයෙන් අැවිස්සී සිටියේය. "ඔබේ අදහස නම් වැරදියි විම්සෙ. මම නම් කවදාවත් එහෙම හිතන්නෑ. ඔහු ගෙදරටම කොටු වෙච්ච වයසක හාදයෙක් ... අැගේ දියණිය නම් ඉතාම රූමත් ... ඔහු ඕනෑවට වැඩියි. මහ අධමයෙක්. අර වයසක අැඩර්සන්ට කරපු දේ දැක්කනෙ"

"කවුද අැන්ඩර්සන් කියන්නෙ?"

"ඔහුගෙ දේපළ නම් ලන්ඩනයෙන් පිටත තිබෙන්නෙ. නමුත් ඔහු මෙහි පදිංචි අයෙක්. ඔහු අඟහරුවාදාට ලෙවිව හමුවෙන්නයි හිතාගෙන හිටියෙ. ඔහු දැන් අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ ... අර දුම්රිය මාර්ගයෙ මිනිස්සු නැවතත් එ් වැඩේ දෙන එකක් නෑ."

"අපේ දුම්රිය නිලධාරීන්ට ඉහළින් කවුද එ්වා පාලනය කරන්නෙ?" පීටර් සාමිවරයා විමසුවේය.

"අැමරිකානු හාදයා ... ජෝන් පී. මිලිගෑන්. ඔහුට අවස්ථාවක් ලැබුණා. එහෙම නැතිනම් ලබාගත්තා. මේ තිරිසනුන් විශ්වාස කරන්න නම් එපා"

"අැන්ඩර්සන් වෙනුවෙන් තව ටික කාලයක් ලබාගන්න බැරිවෙයිද?"

"ඔව් සමහර විට. නමුත් ලෙවි වෙනුවෙන් නම් නෑ. ඔහු මිලිගෑන්ට ලොකු පාඩුවක් කළේ. එන්න එහෙමයි ඔහුගෙ පිළිවෙල. ඔබට තේරුම් ගන්න පුළුවන්නෙ"

"මට විශ්වාසයි ඔය කියන මිලිගෑන් හාදයාව මට කොහෙදි හරි මුණ ගැහිලා තියෙනවා." පීටර් සාමිවරයා කල්පනාබරව පැවසීය. "ඔහු කළුපාට කොණ්ඩයක් හා රැවුලක් තියෙන තරබාරු පෙනුමක් තියෙන අයෙක් නේද?"

"මම හිතන්නෙ ඔබ වෙන කෙනෙක් ගැන හිතාගෙන ඉන්නෙ." ගරු ෆ්‍රෙඩී මහතා පැවසුවේය. "මිලිගෑන් මං තරම් නම් උස නෑ කොහොමත්. අඩි පහයි අඟල් දහයක් විතර කියමුකො. තරබාරුයි නම් තමයි. කොහොම වුණත් රැවුල වවලා නෑ."

පීටර් සාමිවරයා සිය වංශවත් පෙළපතෙහි උදාර බව විදහා පාමින් ඉතා විනීනව මෙසේ අැසුවේය. 

"ලෙවි මහතාට රූමත් දියණියක් සිටින බව දැන සිටියෙ නැද්ද?"

"ඕහ් .. අැත්තෙන්ම." සිය කෝපය මැඩගනිමින් ගරු ෆ්‍රෙඩී මහතා කතාවට මුල පිරීය. "ගිය අවුරුද්දෙ විදේශයකදී මවත් දියණියත් මුණගැසුණා. මම ඔය වයසක හාදයා ගැන දැනගත්තෙන් එ් අවස්ථාවෙදි. ඔහු හරිම වැදගත් පාටයි. එ්ත් ඔහුගෙ අාර්ජන්ටිනාවෙ කළු කඩ ව්‍යාපාර ගැන මං මුලක ඉදන්ම කියන්නම්. ඔබ දන්නවාද එ් ගැන?"

"හොඳයි" පීටර් සාමිවරයා කීවේය. "සමහර විට ඔබ වැරදියට හිතාගෙන අැති. මුදල් නම් මුදල්මයි. එහෙම නෙමෙයිද? ලෙවි අාර්යාව උදාහරණයට ගත්තොත් ඉන් අපිට සෑහීමකට පත් වෙන්න පිළිතුරක් ලැබෙනවා. අඩුම තරමින් මගෙ මෑණියන් මේ පුද්ගලයින් ගැන දැන හිටියා"

"ඕහ් ... අැගේ නම් වරදක් නෑ."ගරු ෆ්‍රෙඩී මහතා කීය. "මේ වයසක හාදයාගෙ වැඩවලින් තවත් ලැජ්ජාවට පත්වෙන්න වෙන්නෑ. ඔහු ස්වෝත්සාහයෙන් දියුණු වූ අයෙක්. නමුත් ඔහුගෙ හැමදේම බොරුවක්. මෙහෙම කියමුකො ... 96 උදෑසන බස්රථයෙන් අැයි ඔහු ව්‍යාපාර කටයුතු සඳහා පිටත්වෙන්නෙ. තරුණයා, මට ටැක්සියක යන්න හිතදෙන්නෑ. එහෙමයි ඔහු එ් ගැන කිව්වෙ. තවත් ඔහු කිව්වා මගෙ තරුණ වයසෙදි හැම පැන්ස භාගයක් ගැනම මම සැළකිලිමත් වුණා. ඉතින් මට එ් පුරුදුවලින් අත්මිදෙන්න බෑ. එහෙමයි ඔහුගෙ අදහස්. හොඳයි අපි කියමුකො ඔහු සිය පවුලත් සමඟ අැවිදින්න යනවා කියලා. එ්ක නම් කවදාවත් හොඳ චාරිකාවක් වෙන්නෑ. රේචල් ... අර දැරිවිය ... අැය නිතරම ඔහුගෙ අරපිරිමැස්ම ගැන කියලා හිනා වෙනවා."

"මං හිතනවා ඔවුන් ලෙවි අාර්යාවට දැනුම් දේන අැති" පීටර් සාමිවරයා පැවසුවේය. 

"මාත් එහෙම හිතනවා" මිතුරා එකඟ විය. "මට එ් පැත්තෙ ගිහින් ශේකය පළ කරලා එන්න තිබුණා. මොකක්ද? ඔබ කියන්නෙ එහෙම කරන එක හොඳ නැද්ද? ඔබ අැත්තටම එහෙම හිතනවාද? නමුත් එහෙම කරන එක අකාරුණිකයි නේද? ඊට පස්සෙ මං මොකක්ද එ් ගැන කියන්නෙ?"

"ඔබ මොනවා කිව්වත් එ්ක ගැටලුවක් නෙමෙයි." පීටර් සාමිවරයා කීවේය. "මං මේ කියන්න හැදුවෙ ඔබට මොනවා හරි එ් වෙනුවෙන් කරන්න පුළුවන් නම් කියලා .."

"ඕහ් ... ස්තූතියි" මිතුරා කීවේය. "මං එහෙම කරන්නම්. උත්සාහවන්ත තරුණ හාදයා. නිතරම මාව උනන්දු කරවනවා. ඕනෙ වෙලාවක ඔබට උදවු කරන්න මම සූදානම්. රාත්‍රියේදී වුණත් කමක් නෑ .. ඕනෙම වෙලාවක මට කෝල් කරන්න. එහෙම හොඳයි නේද?"

"එ්ක නම් හොඳ අදහසක්." පීටර් සාමිවරයා පැවසුවේය. 

* * *

ජෝන් පී. මිලිගෑන් මහතා යනු, දුම්රිය මාර්ග හා නාවික කටයුතු පිළිබඳ දැවැන්ත ව්‍යාපාරයේ ලන්ඩනයේ නියෝජිතවරයාය. ඔහු ලොම්බාර්ඩ් වීථියේ සිය කාර්යාලය තුළ ඔහුගේ ලේකම්වරයාද සමඟ කේත පත් අනුපිළිවෙලට සකස් කිරීමේ කාර්යයේ නිරතව සිටින විට ඔහු වෙතට අාගන්තුක පතක් ගෙන එන ලදී. 

මෙවැනි බාධා කිරීම් මිලිගෑන් මහතා රුස්සන්නේ නැත. නමුත් ඔහුගේ එක් දුර්වලතාවයක් තිබුණි. එනම්, ඔහු බ්‍රතාන්‍යයේ රදළ පෙළපතට අයත් පුද්ගලයින් හඳුනාගැනීමට දැඩි කැමැත්තක් දැක්වීය. 

"සුබ සන්ධ්‍යාවක්" වංශාධිපතියා ඉතා ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන සෙමින් අැතුළට අැදෙන ගමන් කීවේය. "ඔබ ඉතාමත් කරුණාවන්තයි. මේ තරම් කාර්යබහුල අවස්ථාවකදීත් මා වෙනුවෙන් කාලය වෙන් කළ එකට. මම බොහෝ වේලා මෙහි රැඳී සිටිමින් ඔබේ වටිනා කාලය නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නෑ. මම කෙලින්ම කාරණයට බහින්නම්. මගේ සහෝදරයා නිසා මට ප්‍රාන්තයක් නම් හිමි නෑ. ඔබ දන්නවානෙ ... කවුරුවත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ මට එ් වගේ තත්ත්වයක් හිමි වෙයි කියලා ..."

"ඔබව හඳුනාගැනීම සතුටක්, විම්සෙ සාමිවරයාණෙනි" මිලිගෑන් මහතා පැවසුවේය. "කරුණාකරලා මෙතනින් අසුන් ගන්න"

"ස්තූතියි" පීටර් සාමිවරයා පැවසුවේය. "නමුත් මම අාදිපාදවරයා නොවෙයි ... ඔබ දන්නවානෙ. එ් මගේ සහෝදරයා, ඩෙන්වර්. මගේ නම පීටර්. එ් නමට නම් මගේ වැඩි මනාපයක් නෑ. එ්ක පරණ තාලෙ නමක්. මං හිතනවා මගේ බෞතිස්මය වෙලාවෙදි මගේ අැපකාර පියා සහ මව විසින් එය යෝජනා කරන්න අැති. අැත්තෙන්ම නමක් තෝරන එක ඔවුන්ටත් ටිකක් අපහසු වෙන්න අැති. නමුත් අැත්තෙන්ම ඔහුටත් පීටර් යන නාමය තිබුණා. ඔබ දන්නවානෙ ... තුත්වන අාදිපාදවරයා. සර් පීටර්. අර යුද්ධය දරුණුවට පැවති කාලයේදී රජතුමාව පාවලා දුන්නෙ. ඉතින් මට නම් මේ නම ගැන කොහෙත්ම අාඩම්බර වෙන්න බැහැ. නමුත් තාමත් මට එ් නම පාවිච්චි කරන්න වෙනවා."

ඔහුට එය ප්‍රශ්නයක් නොවන බව මිලිගෑන් මහතා අැඟවීය. 

"ස්තූතියි" පීටර් සාමිවරයා කීවේය. "මුළු හැන්දෑවරුවම මෙතෙනට වෙලා කියව කියවා ඉන්න ඔබ ඉඩ දෙන එකක් නෑ. දෙවියන්ගෙ නාමෙට ... මිලිගෑන් මහත්තයා ඔබ නම් අාගන්තුක සත්කාරයට ඉතා දක්ෂයෙක්. සැප පහසු පුටු ... අනර්ඝ සිගරට් ... මම නම් පුදුම වෙන්නෑ ඔවුන් අැවිත් ඔබේ කාර්යාලයේ පදිංචි වුණත් ..." ඔහු කියවන්නට විය. "ඔබේ සපත්තු කුට්ටම ඉතාම ලස්සනයි. මටත් අාසයි එ් වගේ සපත්තු කුට්ටමක් මිලදී ගන්න. එහි මුදුන දිගුයි. ඉන් කාටවත් බෑ ඔබේ පාදයේ ප්‍රමාණය හිතා ගන්න. මුදුන තක්කාලි ගෙඩියක් වගේ රවුම්. අැත්තෙන්ම මං මේ වගේ එකක් ගන්නවාමයි."

"ඔබ එහෙම හිතනවාද, පීටර් සාමිවරයාණෙනි" මිලිගෑන් මහතා පැවසුවේය. "මට ඔබ වෙනුවෙන් මොනවා හරි උදව්වක් කරන්න පුළුවන්ද?"

"හොඳයි ... ඔබ දන්නවානෙ" පීටර් සාමිවරයා කියන්නට විය. "මං දන්නෑ ඔබට මේ ගැන උදව් කරනන් පුළුවන් වෙයිද කියලා. මේ ගැන ඔබෙන් අහන එකත් හරිද මන්දා. කොහොම වුණත් මේක මගෙ මෑණියන්ගෙ කාර්යයක්. ඔබ දන්නවානෙ ඉතින් ..."

"එ්කට කමක් නෑ" මිලිගෑන් මහතා කීවේය. "අාදිපාදවරිය වෙනුවෙන් ඕනෑම උදව්වක් කිරීමට මං කැමතියි" අාදිපාදවරිය හා කටයුතු කිරීමට ලැබෙන අවස්ථාවක් නිසා ඔහු දැඩි සතුටට පත් වී සිටියේය. 

"ස්තූතියි. ඔබ ගොඩක් කාරුණිකයි. හොඳයි .. මගේ මෑණියන් ගොඩක් කඩිසර එ් වගේම අාත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන කාන්තාවක්. ඉතින් මේ ශීත ඍතුවේදී ඩෙන්වර්හි පහළ කඩවීථියේ පුණ්‍ය කටයුත්තකට අැය අත ගහලා තියෙනවා. ඔබ දන්නවත් අැති. අර පල්ලියෙ වහලෙ හදන්න අාධාර කරනවා. නමුත් කනගාටුවට කරුණ තමයි මිලිගෑන් මහත්තයා .. පුරාණ ඉංග්‍රීසි පන්නයේ ජනේල එ් වගේම වහලෙ සරසන සුරදූතයින්ගෙ ප්‍රතිමා වගේ වටිනා කෞතුක භාණ්ඩ රැසක් අව් වැසි වලින් විනාශයට පත් වෙලා. එ්වා ගොඩක් කෑලි වලට කැඩිලා බිඳිලා ගිහින්. අසරණ දේවගැතිතුමාගෙ රක්තවාතය උත්සන්න වෙලා අසනීපයෙන් ඉන්නෙ. ඔහු බොහෝ කල් මෙහි රැඳී සිටිමින් විශාල සේවාවක් කළ අයෙක්. අැත්තටම අල්තාරය යළි අලුත්වැඩියා කරන්න යම් මුදලක් අවශ්‍ය වෙනවා. ඔබ දන්නවානෙ ඉතින්. එහි මනුස්සයෙක් වැඩ කරමින් සිටියා. තිප්ස් කියලා කෙනෙක් ... ඔහු බැට්ටබැට්ටර්සීවල තම මහලු මවත් සමඟයි ජීවත් වුණේ ... අසරණයා ... ඔහු වහලෙ වැඩ කටයුතුයි සුරදූත ප්‍රතිමාවල වැඩකටයුතුයි සේරම බලාගත්තා ..."

පීටර් සාමිවරයා මෙසේ කියාගෙන යන ගමන් සිය අසන්නා දෙස දැඩි විමසිල්ලෙන් පසු විය. නමුත් ඔහුගෙන් බලාපොරොත්තු වූ පරිදි කිසිම ප්‍රතිචාරයක් දක්නට නොලැබුණි. ඔහු විනීතව අසා සිටියේය. 

"මට කමා කරන්න ... මං ඕනෑවට වඩා කියවනවා වගේ. කෙලින්ම කාරණය කියන්නම්. මගේ අම්මා මේ වැඩේ වෙනුවෙන් පෙනී සිටිනවා. අැය මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අැය එ් සඳහා යම් වැඩපිළිවෙලක් තීරණය කරලා තියෙනවා. ඔබ දන්නවානෙ ... ව්‍යාපාරිකයින්ගෙ උනන්දුව අැති වන අාකාරයේ යම් හමුවක් ... අැත්තටම අපිට මුදල්වලින් ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට මානව සම්පත අවශ්‍යයි. ඔබ වැනි මුදල් උපයන්නෙක්ගෙ අදහස් ඔවුන්ට ගොඩක් වැදගත් වෙනවා. අපි ඔබේ මුදල් ලබාගන්න බලාපොරොත්තු වෙන්නෑ. අැත්තෙන්ම මගේ මෑණියන් ඔබේ සහභාගිත්වයත් කෙටි දේශනයකුත් බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් ලොකු දෙයක්. විනාඩි දහයකට පමණවත් ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් ... කොහොමත් ඔබට වැඩි කාලයක් වැය කරන්න වෙන්නෑ. මගේ මවගේ සමාගමයට ගොඩක් රසවත් වෙන්නෙ වෙඩි තැබීම් දඩයම් කිරීම් වගේ මාතෘකා තමයි. ඉතින් විනාඩි කිහිපයක දේශනයක් ප්‍රමාණවත්. එහි අැවිත් දින දෙක තුනක් අපි සමඟ නතර වෙලා ඔබේ වටිනා අදහස් අපත් එක්ක බෙදාගන්න පුළුවන් නම් එ්ක මුදල් වලට වඩා අපිට වටිනවා."

"අැත්තෙන්ම" මිලිගෑන් මහතා කීය. "මම ගොඩක් කැමතියි පීටර් සාමිවරයාණනි. අැත්තටම මේ වගේ අාරාධනයක් කිරීමට තරම් අාදිපාදවරිය ගොඩක් කරුණාවන්තයි. අැත්තටම මේ වගේ පෞරාණික වැදගත්කමක් අැති දේවල් විනාශවීමට ඉඩ හැරීම අපරාධයක්. මම ගොඩක් සතුටින් සහභාගී වෙන්නම්. කරුණාකරලා ප්‍රතිසංස්කරණ අරමුදලට මගේ සුළු අාධාරය භාරගන්න"

මේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයෙන් සතුටට පත් සාමිවරයා නැගී සිටියේය. ඔහුගේ උපායශීලී බොරුව හොඳින් වැඩ කර අැති බවක් පෙනුණි. මේ සත්කාරයට ලැදි මහත්මයා මිනීමැරුමක් කිරීමට තරම් සාහසිකයෙකු විය හැකිද? ඉතින් එය එසේ නම් එවැන්නෙකුගේ මුදල් අතපත ගෑම සාමිවරයා පිළිකුල් කළේය. පීටර් සාමිවරයා සිය හැඟීම් වළකා ගනිමින් මෙසේ කීවේය.
"ඔබ ඉතාම කාරුණිකයි. ඔබ මා ගැන සම්පූර්ණ විශ්වාසය තබන බව නියතයි. නමුත් ඔබ මේ මුදල ඔවුන්ටම පරිත්‍යාග කරනවා නම් තමයි හොඳ. සමහර විට මං මේක වියදම් කළොත් නැතිනම් නැති කරගත්තොත් ... මට මේ සම්බන්ධයෙන් මා ගැනම විශ්වාසයක් තබන්න බැහැ. එ් නිසා මට මෙය භාරගන්න බයයි. සෙන් ජෝන්ස් දේවගැති තැන බාරේ ත්රොග්මෝර්ට්න්, ඩෙන්වර්හි අාදිපාදවරයාගේ බල ප්‍රදේශය ... ඔබට මෙය එහි යැවිය හැකියි ... ඔබ කැමති නම් ..."

"මම එහෙම කරන්නම්" මිලිගෑන් මහතා කීවේය. "දැන්මම මේක ලියන්න .. නැත්නම් මෙච්චර පවුම් ගානක් වියදම් කිරීම ගැන මගේ අදහස පසුව වෙනස් වෙන්න පුළුවන් .." තඔවන් කොණ්ඩයක් සහිත දිගු නිකටක් හා නොපැහැදිලි අැහි බැමිවලින් යුත් නිහඬව පසු වූ සිය තරුණ ලේකම්වරයා දෙසට හැරී ඔහු පැවසුවේය.

මිලිගෑන් මහතාගේ තට්ට හිස දෙස බැලූ පීටර් සාමිවරයා ලේකම්වරයාගේ රතු හිස කෙස් දෙස නැවතත් බැලීය. දැඩි අපහසුතාවයට පත් සාමිවරයා නැවතත් උත්සාහයක් දැරීය. 

"අැත්තටම මං ඔබට නැවතත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ, මිලිගෑන් මහත්මයා. මගේ මෑණියනුත් එසේ කරන බව මට විශ්වාසයි. මං කඩවීථියට එන්න ඕනෙ දවස පසුව ඔබට දන්වන්නම්. එ් ගැන තාම අවසන් තීරණයක් ගෙන නැහැ. මට තවත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් මුණ ගැහෙන්න යන්න තියෙනවා. මං හිතාගෙන ඉන්නෙ ඉංග්‍රීසි පත්තරය නියෝජනය කරමින් තෝර්න්ක්ලිප් සාමිවරයාට අාරාධනා කරන්න. එ් වගේම මගේ යහළුවෙක් ජර්මනිය නියෝජනය කරමින් පැමිණෙන බවට පොරොන්දු වුණා. අැත්තටම මේක නම් හොඳ අවස්ථාවක් වෙයි. එ්කෙන් මේකට යම් යුදෙව් අාරකුත් ලැබෙයි. මදිපාඩුවටත් එක්ක ලෙවි මහත්තයාටත් අාරාධනා කරන්නයි මං හිතාගෙන හිටියෙ ... මේ අවාසනාවන්ත සිදුවීමට කලින් ..."

"ඔව්" මිලිගෑන් මහතා කීවේය. "එ්ක නම් අැත්තටම කුතුහලය දනවන දෙයක්. මං මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා, පීටර් සාමිවරයාණනි. මගෙ පැත්තෙන් එ්ක ලොකු පහසුවක් කියන්නත් පුළුවන්. ඔහු මගෙ දුම්රිය මාර්ග පද්ධතියෙ වැඩවලට සම්බන්ධ වෙලා හිටියා. පෞද්ගලිකව මට ඔහුත් එක්ක කිසිම අමනාපයක් නැහැ. ඉතින් ඔහුත් එක්ක පොඩි ගනුදෙනුවකට එකඟ වුණා. මං ඔහුව ඉතාම සාදරයෙන් පිළිගත්තා."

යම් මූල්‍යමය අර්බුදයක් මගහැරෙන තුරු සර් රූබියන් සඟවාගෙන අැත්දැයි පීටර් සාමිවරයාට සැකයක් අැති විය. එ් වගේ දෙයක් බොහෝ දුරට සිදුවිය හැකියි. ඔහු මුලින් අනුමාන කළ දෙයට එය යම් ප්‍රමිණයකින් ගැළපෙනවා. මිලිගෑන් මහතාට අවශ්‍ය වූ අාකාරයට හැඩගැසීමට ඔහුට සිදු වුණා වෙන්නත් පුළුවන්. 

"හොඳයි. කොහොම වුණත් මේක පුදුමසහගත දෙයක්." පීටර් සාමිවරයා කීවේය. "මට හොඳටම විශ්වාසයි ඔහුට එ්කට හොඳ හේතුවක් තියෙන්න අැති. මිනිස්සුන්ගෙ පෞද්ගලික තීරණවලට අැඟිලි නොගහා ඉන්න එක තමයි හොඳම දේ. ඔබ දන්නවාද ... මේ පරීක්ෂණයට සම්බන්ධව කටයුතු කරන පොලීසියේ මගේ මිත්‍රයෙක් මට කිව්වා මේ වයසක හාදයා අතුරුදහන්වීමට කලින් කොණ්ඩෙත් පාට කරලාලු"

මේ වදන් කියන අතරතුර පීටර් සාමිවරයා ලේකම්වරයා වෙත නෙත් හෙලීය. ඔහු ගණන් සමඟ පොර බදමින් තවදුරටත් ලේඛනයේ නිරතව සිටියේය. 

"කොණ්ඩෙ පාට කරලා. අැත්තටම ඔහු එහෙම කරලාද?" මිලිගෑන් මහතා විමසුවේය. 

"ඔව් රතු පාටින්." පීටර් සාමිවරයා කීවේය. එවිට ලේකම්වරයා හිස ඔසවා බැලීය. "එ්කනම් විකාරයක්." විම්සෙ කියාගෙන ගියේය. "ඔවුන්ට මුකුත් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. මෙතන මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා වගේ. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද? මොකක්ද?"

ලේකම්වරයාගේ උනන්දුව මේ වන විට හීන වී ගොස් තිබුණි. ඔහු ලිහිපත් ලෙජරය වෙත සිය අවධානය යොමු කළේය. ඉන්පසු ලෙජරය රැගෙන එහි යම් පේළියක සටහන් වූ සංඛ්‍යාංක සමඟ වැඩ කරන්නට විය. 

"සමහර විට මේක අැති දෙයක් නැතිව අැති මගෙ හිතේ" පීටර් සාමිවරයා අාපසු යන්නට නැගිටින ගමන් කීවේය. "හොඳයි අැත්තටම ඔබ ගොඩක් කාරුණික වුණා මා වෙනුවෙන් කාලය වෙන් කිරීමට, මිලිගෑන් මහත්මයා. මගේ මෑණියන් එ් වෙනුවෙන් බොහෝ කෘතඥ වේවි. අැය දිනය ගැන ඔබට ලියා දන්වාවි" 

"අැත්තෙන්ම" මිලිගෑන් මහතා කීවේය. "ඔබතුමාව හඳුනා ගැනීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි."

මේ වෙලාවේ ස්කූට් මහතා දොර අැර දීමට සෙමින් නැගී සිටියේය. මෙතෙක් වේලා මේසය පිටුපසට වී සිටි ස්කූට් මහතාගේ සිහින් දිගු දෙපා මත දැවැන්ත ශරීරය මේ මොහොතේ දැක ගත හැකි විය. පීටර් සාමිවරයාගේ මුවින් සුසුමක් පිට විය. බැලූ බැල්මට ඔහු අඩි පහයි අඟල් හතරක්වත් උස අැතැයි පීටර් සාමිවරයාට සිතුනි. 

"මේක නම් හරිම පුදුම දෙයක්. මං හිතාගෙන හිටිය විදිහට මිලිගෑන් මහත්තයාගේ හිසේ ස්කූට්ගෙ හිස තියන්න නම් බැරි වෙයි." පීටර් සාමිවරයා තමාටම මුමුණා ගත්තේය. "දැන් ඉතින් මගෙ මෑණියන් මොනවා කියයිද දන්නෑ"

No comments:

Post a Comment